ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපළේදී පසුගිය ඉරිදා උදෑසන ඉතාමත් භයානක සිදුවීමක් වාර්තා වුණා. ජෙට්ස්ටාර් (Jetstar) සමාගමට අයත් මගී ගුවන් යානයක් සහ කටාර් එයාර්වේස් (Qatar Airways) සමාගමට අයත් යානයක් එකිනෙක ගැටීමෙන් අනූනවයෙන් බේරී තිබෙනවා. උදෑසන 7ට පමණ මෙම සිදුවීම සිදුවී ඇත්තේ ජෙට්ස්ටාර් යානය ගෝල්ඩ් කෝස්ට් බලා පිටත්ව යාමට සූදානම් වෙමින් සිටියදීයි. ඒ අතරතුර කටාර් එයාර්වේස් යානයක් ටග් රථයකින් ඇදගෙන යමින් තිබියදී මෙම අනතුරුදායක තත්ත්වය නිර්මාණය වුණා.
මෙම හදිසි තිරිංග තැබීම නිසා ජෙට්ස්ටාර් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙක් තුවාල ලබා තිබෙනවා. වාසනාවකට මෙන් මගීන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ. කෙසේ වෙතත්, කටාර් එයාර්වේස් යානයේ ඉදිරිපස රෝද කොටසට හානි සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ. ජෙට්ස්ටාර් සමාගම පවසන්නේ ගුවන් පාලක මැදිරියේ උපදෙස් පරිදි තම යානය ගමන් කළ බවත්, අනතුර වළක්වා ගැනීමට නියමුවන් වහාම ක්‍රියාත්මක වූ බවත්ය. මේ හේතුවෙන් අදාළ ගුවන් ගමන අවලංගු කිරීමට සිදුවූ අතර මගීන්ව වෙනත් ගුවන් යානා වෙත යොමු කළා.
මේ වන විට ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය (ATSB) මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ගුවන් නියමුවන්, ගුවන් පාලකවරුන් සහ අනෙකුත් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමටත්, සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමටත් ඔවුන් කටයුතු කරනවා. මෑතකදී සිඩ්නි ගුවන්තොටුපළේ පවතින කාර්ය මණ්ඩල හිඟය සහ ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳව නිරන්තරයෙන් කතාබහට ලක්වන පසුබිමක මෙවැනි සිදුවීමක් වාර්තා වීම විශේෂත්වයක්. මීට පෙර ජූලි 27 දිනත් මෙවැනිම අනතුරුදායක සිදුවීමක් සිඩ්නි ගුවන්තොටුපළේදී වාර්තා වුණා.

Discussion & Feedback