ජපානය කියන්නේ ලෝකයේ වැඩිම ආයු කාලයක් හිමි ජනතාවක් ජීවත් වන රටක් විදිහට ප්‍රසිද්ධයි. මේ වන විට ජපානයේ වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයන්ගේ සංඛ්‍යාව පළමු වතාවට ලක්ෂයේ සීමාව පසු කරලා තියෙනවා. ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරපු අලුත්ම දත්තවලට අනුව, සැප්තැම්බර් පළමුවැනිදා වන විට එරට වයස අවුරුදු 100 ඉක්මවූවන් 107,677ක් ඉන්නවා. පසුගිය වසරට සාපේක්ෂව මේක 7,914ක වැඩිවීමක්. විශේෂම දේ තමයි, මේ වයස්ගත පුද්ගලයන්ගෙන් 87.6%ක්ම කාන්තාවන් වීම. 1963 වසරේදී මේ සංඛ්‍යාව 153ක් විතරක් වුණත්, දශක කිහිපයක් ඇතුළත මේ විදිහට විශාල වර්ධනයක් දකින්න ලැබීම පුදුම හිතෙන කාරණයක්.
මේ වන විට ජපානයේ වැඩිම ආයු කාලයක් හිමි කාන්තාව ලෙස කියෝතෝ නුවර 114 හැවිරිදි ෆුයෝ කිෂිමොටෝ මහත්මියත්, වැඩිම ආයු කාලයක් හිමි පිරිමියා ලෙස කුමමොටෝ නුවර 112 හැවිරිදි හිකාරු කෝටෝ මහතාත් වාර්තා වෙනවා. ජපානයේ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ ගැන අදහස් දක්වමින් කිව්වේ, ජනතාව දිගු කලක් නිරෝගීව සහ ක්‍රියාශීලීව ජීවත් වීම සතුටට කරුණක් බවයි. හැබැයි මේ තත්ත්වය එක් පැත්තකින් ජපානයට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. මොකද රටේ උපත් අනුපාතය පහළ යාමත් එක්ක, වයස්ගත ජනගහනය වැඩිවීම නිසා එරට ශ්‍රම බලකායට සහ සමාජ ආරක්ෂණ පද්ධතියට විශාල පීඩනයක් එල්ල වෙමින් පවතිනවා. කොහොම වුණත්, ජපානය මේ වන විට ලෝකයේ වැඩිම ආයු අපේක්ෂාවක් සහිත රටක් ලෙස තමන්ගේ වාර්තාව තවදුරටත් තහවුරු කරගෙන තියෙනවා.

Discussion & Feedback