ජපානයේ ප්‍රකට අයිස්පේස් (ispace) සමාගම සඳ මත සිය මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින්, ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ දැවැන්තම රොකට්ටුව වන ස්ටාර්ෂිප් (Starship) හරහා සඳ වෙත භාණ්ඩ යැවීමට ගිවිසුමකට එළඹ තිබෙනවා. මේ සඳහා ඔවුන් ඇමරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් වැය කර ඇති අතර, කිලෝග්‍රෑම් 500ක පමණ බරකින් යුත් භාණ්ඩ ප්‍රමාණයක් සඳ මතුපිටට ප්‍රවාහනය කිරීමට නියමිතයි. මෙම මෙහෙයුම 2030 වසරේදී දියත් කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා ඔවුන් ‘මොබයිල් කාගෝ සිස්ටම්’ (Mobile Cargo System) නමින් හඳුන්වන විශේෂ රෝවරයක් භාවිත කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙම ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් අයිස්පේස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටකේෂි හකමාඩා පවසා සිටියේ, ස්ටාර්ෂිප් රොකට්ටුව මගින් අඩු වියදමකින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් සඳ මතට ප්‍රවාහනය කිරීම, සඳ මත තිරසාර ආර්ථිකයක් ගොඩනැගීමට අත්‍යවශ්‍ය සාධකයක් බවයි. මීට පෙරද අයිස්පේස් සමාගම ස්පේස් එක්ස් සමඟ එක්ව සඳ ගවේෂණ මෙහෙයුම් කිහිපයකට දායක වී තිබුණත්, ඒවා සාර්ථක කර ගැනීමට නොහැකි වුණා. කෙසේ වෙතත්, ස්ටාර්ෂිප් රොකට්ටුවේ දියුණුවත් සමඟ සඳ මත යටිතල පහසුකම් ගොඩනැගීමේ කටයුතු ඉදිරියේදී වඩාත් වේගවත් වනු ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කරනවා.
මේ වන විට නාසා (NASA) ආයතනයද සිය ආටෙමිස් (Artemis) වැඩසටහන සඳහා ස්ටාර්ෂිප් රොකට්ටුව යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ස්ටාර්ෂිප් රොකට්ටුව සම්පූර්ණයෙන්ම නැවත භාවිත කළ හැකි අභ්‍යවකාශ යානයක් ලෙස නිර්මාණය කර ඇති නිසා, අනාගතයේදී සඳ මත ඉදිකිරීම්, සන්නිවේදන කටයුතු සහ බලශක්ති උත්පාදනය වැනි කාර්යයන් සඳහා මෙය විශාල පිටුවහලක් වනු ඇති බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback