ජපානයේ අයිස්පේස් (ispace) සමාගම සඳ මතට භාණ්ඩ ප්රවාහනය කිරීමේ අරමුණින් ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ දැවැන්තම රොකට්ටුව වන ස්ටාර්ෂිප් (Starship) යානය තුළ ඉඩකඩ වෙන්කර ගැනීමට පියවර අරන් තියෙනවා. මේ සඳහා ඔවුන් ඇමරිකානු ඩොලර් මිලියන 50ක ගිවිසුමකට එළඹී ඇති අතර, ඒ හරහා කිලෝග්රෑම් 500ක බරකින් යුත් භාණ්ඩ සඳ මතට රැගෙන යාමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. 2030 වසරේදී පමණ මෙම මෙහෙයුම දියත් කිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා ඔවුන් ‘මොබයිල් කාගෝ සිස්ටම්’ (Mobile Cargo System) නමින් හඳුන්වන විශේෂ රෝවරයක් භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා.
අයිස්පේස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී ටකේෂි හකමාඩා පවසන විදියට, සඳ මත තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මෙවැනි අඩු වියදම් සහ ඉහළ ධාරිතාවකින් යුත් ප්රවාහන සේවාවන් ඉතාමත් වැදගත් වෙනවා. මීට පෙර ඔවුන් සඳ මතට යාමට උත්සාහ කළත්, එම මෙහෙයුම් සාර්ථක වුණේ නැහැ. නමුත් ස්ටාර්ෂිප් රොකට්ටුව හරහා සඳ මත යටිතල පහසුකම් ගොඩනැගීම සහ සන්නිවේදන කටයුතු වේගවත් කිරීම ඔවුන්ගේ ප්රධාන අරමුණයි. නාසා ආයතනය පවා සිය ආටෙමිස් (Artemis) මෙහෙයුම් සඳහා ස්ටාර්ෂිප් යානය යොදා ගැනීමට බලාපොරොත්තු වන නිසා, අනාගතයේදී සඳ මත සිදුවන මෙහෙයුම් සඳහා මෙය විශාල පිටුවහලක් වේවි.
ස්පේස් එක්ස් සමාගම මේ වන විටත් ස්ටාර්ෂිප් යානය අභ්යවකාශයට යැවීමේ අත්හදා බැලීම් රැසක් සිදු කරමින් පවතිනවා. තාක්ෂණික ගැටලු සහ ප්රමාදයන් තිබුණත්, 2030 වන විට මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඔවුන් දැඩි උත්සාහයක නිරත වෙනවා. සඳ මතට විශාල වශයෙන් භාණ්ඩ ප්රවාහනය කිරීමේ හැකියාව ලැබීමෙන්, අනාගතයේදී සඳ මත මිනිසුන්ට ජීවත් වීමට අවශ්ය මූලික පහසුකම් සකසා ගැනීම වඩාත් පහසු වේවි.

Discussion & Feedback