ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය හෙවත් ජැක්සා (JAXA) ආයතනය අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයන් වෙත යැවීමට නියමිත නවතම අභ්‍යවකාශ යානය පසුගියදා ප්‍රදර්ශනය කළා. ‘MMX’ ලෙස නම් කර ඇති මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වෙන්නේ අඟහරුගේ චන්ද්‍රයෙක් වන ෆෝබෝස් (Phobos) වෙත ගොස් එහි පස් සාම්පල පෘථිවියට රැගෙන ඒමයි. මෙවැනි අභියෝගාත්මක කාර්යයක් මීට පෙර කිසිදු රටක් සාර්ථකව සිදු කර නැහැ. මෙම යානය ඔක්තෝබර් 19 වැනිදා ජපානයේ තනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කිරීමට නියමිතයි.
මෙම යානය අඟහරු වෙත ළඟා වීමට වසරක පමණ කාලයක් ගත වෙනවා. එහිදී ෆෝබෝස් සහ ඩෙයිමෝස් යන චන්ද්‍රයන් දෙක පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදු කරන අතර, ‘අයිඩෙෆික්ස්’ (Idefix) නමැති කුඩා රොබෝ යානයක් ෆෝබෝස් මතුපිටට ගොඩබස්සවා පරීක්ෂණ සිදු කිරීමටත් සැලසුම් කර තිබෙනවා. අවසානයේදී ෆෝබෝස් මතුපිටින් පස් සාම්පල ලබාගෙන 2031 වසරේදී ඒවා පෘථිවියට රැගෙන ඒමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. මෙමගින් අඟහරු සහ එහි චන්ද්‍රයන් නිර්මාණය වූ ආකාරය පිළිබඳව ලෝකයට විශාල දැනුමක් ලබාගන්න පුළුවන් වේවි.
මීට පෙර රුසියාව වැනි රටවල් මෙවැනි උත්සාහයන් ගත්තත් ඒවා සාර්ථක වුණේ නැහැ. නමුත් ජපානය මීට පෙර කුඩා ග්‍රහකවලින් සාම්පල රැගෙන ඒමේ මෙහෙයුම් සාර්ථකව සිදු කර තිබෙන නිසා, මෙවරත් ඔවුන් ජයග්‍රහණය කරාවි කියලා විද්‍යාඥයන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. අඟහරුගේ රහස් සොයා යන මෙම ගමන අභ්‍යවකාශ ඉතිහාසයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වේවි.

Discussion & Feedback