පසුගිය ජූනි 14 වැනිදා ගාලු මුවදොර පිටියේදී පැවති භරතනාට්‍ය ලෝක වාර්තා උත්සවය සම්බන්ධයෙන් ජන අරගල සන්ධානය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසන පරිදි, මෙම උත්සවය සඳහා උතුරු සහ කඳුකර ප්‍රදේශවලින් පැමිණි දරුවන් ඇතුළු පන්දහසකට ආසන්න පිරිසක් සහභාගී කරවාගෙන තිබෙනවා. එක් අයෙකුගෙන් රුපියල් පන්දහසක මුදලක් අය කර ඇති අතර, සහතික පත්‍ර සහ අනෙකුත් දේවල් සඳහා නැවතත් මුදල් අය කිරීම නිසා දුර බැහැර සිට පැමිණි පවුල්වලට විශාල ආර්ථික බරක් දරාගන්නට සිදුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙම උත්සවය සංවිධානය කර තිබෙන්නේ පෞද්ගලික සමාගමක් විසින් වුවත්, එයට රජයේ අනුග්‍රහය සහ රාජ්‍ය සම්පත් යොදා ගැනීම පිළිබඳව බරපතල ගැටලු පවතින බව නාගමුව මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. අවසානයේදී මෙම ලෝක වාර්තාව හිමිව තිබෙන්නේ එම පෞද්ගලික සමාගමට මිස ශ්‍රී ලංකා රාජ්‍යයට හෝ සහභාගී වූ දරුවන්ට නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. එබැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අක්‍රමිකතා සිදුවී ඇත්නම් අය කරගත් මුදල් නැවත ලබා දෙන ලෙසත් ජන අරගල සන්ධානය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටිනවා. ‘සංගමම් 2026’ නමින් පැවති මෙම උත්සවයේදී නර්තන ශිල්පීන් 4,988 දෙනෙකු එකවර නර්තනයේ යෙදෙමින් ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවා.

Discussion & Feedback