අභ්යවකාශ විද්යාඥයන් ජේම්ස් වෙබ් දුරේක්ෂය භාවිතයෙන් ඉතාමත් පුදුම හිතෙන සොයාගැනීමක් කරලා තියෙනවා. සෙනසුරු වගේ විශාල ග්රහලෝකවලට විතරක් නෙවෙයි, සෞරග්රහ මණ්ඩලයේ තියෙන ඉතා කුඩා වස්තූන්ටත් වළලු පද්ධති තියෙන්න පුළුවන් කියලා කලින් දැනගෙන හිටියත්, දැන් හොයාගෙන තියෙන්නේ ‘චරිකලෝ’ කියන කුඩා ග්රහකයේ වළලු කාලයත් එක්ක වෙනස් වෙනවා කියන එකයි. පෘථිවියේ ඉඳන් සූර්යයාට තියෙන දුර වගේ 17 ගුණයක් ඈතින්, සෙනසුරු සහ යුරේනස් අතර ගමන් කරන මේ පුංචි ග්රහකයට වළලු දෙකක් තියෙනවා. 2013 දී මුලින්ම මේ ගැන දැනගත්තත්, ජේම්ස් වෙබ් දුරේක්ෂයේ තියෙන දියුණු තාක්ෂණය නිසා දැන් මේ වළලුවල සිදුවෙන වෙනස්කම් ඉතාම පැහැදිලිව නිරීක්ෂණය කරන්න විද්යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා.
ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා තාරකා විද්යා ආයතනයේ පර්යේෂකයන් පිරිසක් මේ ගැන අධ්යයනය කරලා තියෙන්නේ තරු ආලෝකය අවහිර වීමක් හරහා සිදුවන ‘ස්ටෙලර් ඔකල්ටේෂන්’ (stellar occultation) කියන ක්රමවේදය පාවිච්චි කරලා. එහිදී ඔවුන් දැකලා තියෙනවා චරිකලෝගේ ඇතුළු වළල්ලේ පාරාන්ධතාව වැඩි වෙද්දී, පිටත වළල්ලේ පාරාන්ධතාව අඩු වෙන බව. මේ වගේ වෙනස්කම් සිදුවීම විද්යාඥයන්ට ලොකු ප්රශ්නයක් වෙලා තියෙන්නේ, සාමාන්යයෙන් කුඩා වස්තූන්ගේ වළලු ස්ථාවරව පවතිනවා කියලා තමයි කලින් හිතාගෙන හිටියේ. මේ සොයාගැනීමත් එක්ක කුඩා අභ්යවකාශ වස්තූන්ගේ පරිණාමය සහ ඒවායේ වළලු පද්ධති හැදෙන විදිය ගැන ආයෙත් අලුතින් හිතන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම මේ වළලු ඇයි මෙහෙම වෙනස් වෙන්නේ කියන එක තවමත් අභිරහසක් විදියටයි පවතින්නේ.

Discussion & Feedback