පසුගිය වසරේ ජූලි මාසයේදී ලොවම කම්පා කරමින් රොක් සංගීතයේ දැවැන්තයෙක් වන ඔසී ඔස්බෝන් අපෙන් සමුගත්තා. ඔහුගේ වියෝවෙන් වසරක් ගතවෙද්දී, ඔහුගේ පවුලේ අය ඔසීගේ ජීවිත කතාව සිනමාවට ගෙන ඒමට කටයුතු කරමින් ඉන්නවා. මේ ගැන අලුත්ම තොරතුරු ඔහුගේ පුත් ජැක් ඔස්බෝන් මාධ්‍ය වෙත හෙළි කර තිබෙනවා. දැනටමත් මේ චිත්‍රපටයේ පිටපත ලියා අවසන් බවත්, මේ වන විට අධ්‍යක්ෂකවරුන් සොයමින් සිටින බවත් ඔහු පවසනවා. විශේෂයෙන්ම ඔසීගේ චරිතයට කවුරුන් පණ පොවයිද කියන එක ගැනත් ඔවුන්ට දැනටමත් අදහසක් තියෙනවා. ඒ ගැන තවම රහසක් විදිහට තියාගත්තත්, ඒ තේරීම රසිකයන්ට ලොකු පුදුමයක් වේවි කියලා ජැක් විශ්වාස කරනවා.
මෙම චිත්‍රපටය ගැන කතා කරද්දී ජැක් අවධාරණය කළේ මෙය කිසිසේත්ම කලාත්මක හෝ සංකීර්ණ චිත්‍රපටයක් නොවන බවයි. “අපි මේ චිත්‍රපටය හදන්නේ රසිකයන් වෙනුවෙන්. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය දේම අපි ලබා දෙනවා. කලාත්මක දේවල් හොයන අයට වඩා ඔසීගේ සංගීතයට ආදරය කරන රසිකයන්ට දැනෙන විදිහට මේක නිර්මාණය කරනවා” කියලා ඔහු කිව්වා. සෝනි පික්චර්ස් සහ පොලිග්රෑම් එන්ටර්ටේන්මන්ට් එක්ක එකතු වෙලා කරන මේ නිර්මාණය ඔසීගේ ජීවිතය සහ ඔහුගේ බිරිඳ ෂැරොන් සමඟ තිබූ ආදර කතාව වටා ගෙතෙනවා. ඔසීගේ රසිකයන්ට ඔහුගේ ජීවිතයේ සැබෑ පැතිකඩක් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback