ගාසා තීරයේ සිදුවන සිවිල් වැසියන්ගේ මරණ සහ ඊශ්‍රායල හමුදාවේ ක්‍රියාකලාපය ගැන හෙළිදරව් කරන ‘නාසා’ (Naza) නමැති වාර්තා චිත්‍රපටය නිර්මාණය කළ යුවාල් ඒබ්‍රහම් සහ රේචල් සෝර් යන අධ්‍යක්ෂවරුන්ගේ පුරවැසිභාවය අහෝසි කරන ලෙස ඊශ්‍රායල සංස්කෘතික ඇමති මිකී සෝහාර් බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා. වැනීසිය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී විශේෂ ජූරි සම්මානයකින් පිදුම් ලැබූ මෙම චිත්‍රපටය, ඊශ්‍රායල හමුදාව කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර පහර දෙන ආකාරය ගැන හමුදා නිලධාරීන්ගේ සාක්ෂි ඇතුළත් කර තිබෙනවා. මෙය රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් බව පවසන ඇමතිවරයා, චිත්‍රපටය නිර්මාණය කිරීමට අදාළ තොරතුරු ලබාගත්තේ කෙසේද යන්න ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටිනවා.
මෙම චිත්‍රපටය මගින් ඊශ්‍රායල හමුදාව සහ රාජ්‍යය අපකීර්තියට පත් කරන බව පවසමින් හිටපු අගමැති නෆ්තාලි බෙනට් ඇතුළු දේශපාලනඥයන් රැසක් දැඩි විරෝධයක් පළ කර තිබෙනවා. කෙසේ වෙතත්, තමන් ඉදිරිපත් කර ඇත්තේ ඉතා නිවැරදි සහ සත්‍ය තොරතුරු බවත්, මෙය හුදෙක් වැරදීමකින් සිදුවන දෙයක් නොව ක්‍රමානුකූලව සිදුවන සමූල ඝාතනයක් බවත් අධ්යක්ෂවරුන් අවධාරණය කරනවා. මේ වන විට ලොව පුරා සිනමා ක්ෂේත්රයේ ප්‍රවීණයන් 700කට අධික පිරිසක් මෙම අධ්‍යක්ෂවරුන්ට සහාය පළ කරමින් පෙත්සමකට අත්සන් තබා තිබෙනවා. ඊශ්‍රායල හමුදාව මෙම චිත්‍රපටයේ ඇති කරුණු අසත්‍ය බව පවසමින් ප්‍රතික්ෂේප කළත්, චිත්‍රපටය සම්පූර්ණයෙන් නැරඹීමට අවස්ථාවක් ලබා දෙන ලෙස අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලා සිටීමට පියවර ගෙන තිබෙනවා.

Discussion & Feedback