දකුණු ලෙබනනයේ අලි තාහර් කඳු වැටිය යට පිහිටා තිබූ හිස්බුල්ලා සංවිධානයට අයත් දැවැන්ත භූගත උමං සංකීර්ණයක් ඊශ්‍රායල හමුදාව විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබෙනවා. කිලෝමීටර් දෙකකට වඩා දිගු මෙම උමං පද්ධතිය විනාශ කිරීම සඳහා ටොන් 1000කට අධික පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා කර ඇති අතර, එහි බලපෑමෙන් රික්ටර් මාපකයේ 4.1ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් පවා ඇති වී තිබෙනවා. අවට ප්‍රදේශවල ජනතාව පවසන පරිදි මෙම පිපිරීමේ හඬ ඉතා බියකරු වූ අතර, නිවාස පවා දෙදරුම් කෑමට ලක්වී තිබෙනවා. මේ හේතුවෙන් බියට පත් ජනතාව තම නිවෙස් අතහැර බීරූට් නුවර දෙසට පලා යන අයුරු දැකගන්න ලැබුණා.
ඊශ්‍රායල හමුදාව පවසන්නේ මෙම භූගත කඳවුර තුළ හිස්බුල්ලා සංවිධානයේ බදර් ඒකකයට අයත් මධ්‍යස්ථානයක්, මිසයිල, ඩ්‍රෝන යානා සහ විශාල අවි ගබඩාවක් තිබූ බවයි. පසුගිය දශක දෙකක කාලයක් තිස්සේ ඉරානයේ සහයෝගය ඇතිව මෙම උපායමාර්ගික ස්ථානය ගොඩනඟා තිබූ බවත් ඔවුන් සඳහන් කරනවා. මේ වන විට දකුණු ලෙබනනයේ ප්‍රදේශ කිහිපයකම ඊශ්‍රායල හමුදා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, දේශසීමා ආශ්‍රිතව ආරක්ෂක කලාපයක් ස්ථාපිත කිරීමට ඔවුන් උත්සාහ දරමින් සිටිනවා. කෙසේ වෙතත්, මෙම ගැටුම් හේතුවෙන් තවමත් ලක්ෂ තුනකට අධික පිරිසක් අවතැන්ව සිටින අතර, සාම ගිවිසුම් තිබුණද ප්‍රදේශයේ තත්ත්වය තවමත් ඉතා අවිනිශ්චිතව පවතිනවා.

Discussion & Feedback