පසුගිය වසරේ ගාසා තීරයේදී පස් හැවිරිදි පලස්තීන දැරියක වූ හින්ද් රජාබ් ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන් හය දෙනෙකු මියගිය සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව ප්‍රථම වරට වගකීම භාරගෙන තිබෙනවා. එම වාහනයට වෙඩි තැබුවේ තමන්ගේ හමුදා භටයන් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් නිල වශයෙන් තහවුරු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමටත් ඔවුන් තීරණය කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් හින්ද් රජාබ්ව බේරා ගැනීමට ගිය රතු කුරුස ගිලන් රථයේ සිටි වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකුගේ මරණය ගැනත් මෙම පරීක්ෂණය සිදු කෙරෙනවා.
සිද්ධිය වූ අවස්ථාවේදී හින්ද් දැරිය පැය ගණනාවක් දුරකථනයෙන් රතු කුරුස සංවිධානය අමතමින් තමන්ව බේරාගන්නා ලෙස හඬා වැලපෙමින් ආයාචනා කළ ආකාරය ලොව පුරා දැඩි කම්පනයක් ඇති කළා. මුලින් ඊශ්‍රායල හමුදාව කියා සිටියේ එම ප්‍රදේශයේ තම භටයන් සිටියේ නැති බවයි. නමුත් පසුව සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වුණේ හමුදාව විසින් නිකුත් කළ උපදෙස්වලට පටහැනිව වාහනය ගමන් කිරීම නිසා මෙම වෙඩි තැබීම සිදුවූ බවයි. කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදාවේ මෙම අභ්‍යන්තර පරීක්ෂණය ගැන කිසිදු විශ්වාසයක් නොමැති බව හින්ද් රජාබ් පදනම පවසනවා.
මෙම සිදුවීම ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ අතර, පසුව එය ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපටයකට ද පාදක වුණා. මේ අතර, 2025 මාර්තු මාසයේදී රෆාහිදී සිදුවූ තවත් ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සේවකයෙකු ඇතුළු පලස්තීනුවන් 15 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඊශ්‍රායල හමුදාව පියවර ගෙන තිබෙනවා. යුද ගැටුම් අතරතුර සිදුවන මෙවැනි අසාමාන්‍ය සිදුවීම් ජාත්‍යන්තර නීතියට අනුව පරීක්ෂා කිරීමට තමන් බැඳී සිටින බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

Discussion & Feedback