මේ දවස්වල පාරේ යන එන ඔයාලා ගොඩක් දෙනෙක් යතුරුපැදි හිස්වැසුම් පාවිච්චි කරනවානේ. හැබැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා SLS සහතිකය නැති බාල වර්ගයේ හිස්වැසුම් අලෙවි කිරීම සහ නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කියලා. පසුගිය සඳුදා විතරක් දිවයින පුරා වැටලීම් 98ක් සිදු කරලා, SLS ලකුණ නැති හිස්වැසුම් 431ක් සහ වලංගු බලපත්‍ර නැතිව නිෂ්පාදනය කරපු හිස්වැසුම් 3,520ක් අත්අඩංගුවට ගන්න කටයුතු කරලා තියෙනවා. මේ වසරේ මුල් මාස කිහිපය ඇතුළත විතරක් වැටලීම් 150කට වඩා සිදු කරලා නීතිමය පියවර අරන් තියෙනවා.
ඔයාලා හිස්වැසුමක් මිලදී ගන්නකොට ඒකේ SLS 517 කියන සහතික ලකුණ තියෙනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න. සමහර වෙලාවට අඩු මිලට තියෙන නිසා බාල හිස්වැසුම් ගන්න පෙළඹුණාට, අනතුරක් වුණ වෙලාවක ඔයාලගේ ජීවිතේ ආරක්ෂා කරගන්න ඒ වගේ හිස්වැසුම්වලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මිලදී ගන්නකොට හොඳ තත්ත්වයේ එකක් තෝරගන්න වගේම අනිවාර්යයෙන්ම රිසිට්පතක් ලබාගන්නත් අමතක කරන්න එපා.
කවුරුහරි නීති විරෝධී විදිහට මේ වගේ බාල හිස්වැසුම් අලෙවි කරනවා නම් ඒ ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කියන ක්ෂණික ඇමතුම් අංකයට කතා කරලා පැමිණිලි කරන්න පුළුවන්. ඔයාලගේ ආරක්ෂාව වෙනුවෙන් නීත්‍යානුකූල සහ තත්ත්වයෙන් උසස් හිස්වැසුමක්ම පාවිච්චි කරන්න කියලා අපි මතක් කරනවා.

Discussion & Feedback