යේමනයේ හූති කැරලිකරුවන්ට අවි සැපයීම සහ ඔවුන්ට ලබාදෙන සහයෝගය වහාම නතර කරන ලෙස G7 රටවල විදේශ අමාත්‍යවරුන් ඉරානයට දැඩි ලෙස දැනුම් දී තිබෙනවා. නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයකින් ඔවුන් මේ බව අවධාරණය කළා. විශේෂයෙන්ම රතු මුහුදේ වැදගත් නාවික මාර්ගයක් වන බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හූතිවරුන් සිදුකරන ආක්‍රමණශීලී ක්‍රියා සහ සෞදි අරාබියට එල්ල කරන මිසයිල ප්‍රහාර ලෝක බලශක්ති සුරක්ෂිතතාවයට විශාල තර්ජනයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙම ගැටුම්කාරී තත්ත්වය නිසා මේ වන විටත් දහස් ගණන් යේමන වැසියන් තම නිවෙස් අතහැර පලා යමින් සිටිනවා.
අනෙක් පසින්, හූති කැරලිකරුවන් චෝදනා කරන්නේ සෞදි අරාබිය විසින් එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් මිය යන බවයි. මෑතකදී මොක්හා වරාය නගරයට සහ ජව්ෆ් පළාතට එල්ල වූ ප්‍රහාරවලින් දරුවන් ඇතුළු සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බව ඔවුන් පවසනවා. කෙසේ වෙතත්, හූතිවරුන් විසින් ලාජ් පළාතේ වෙළඳපොළකට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් තුවාල ලබන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද මේ වන විට අන්තර්ජාලයේ සැරිසරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි, පසුගිය දින කිහිපය තුළ පමණක් යේමන වැසියන් එක් ලක්ෂ විසි දහසකට අධික පිරිසක් අවතැන් වී තිබෙනවා. කලාපයේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් හූතිවරුන් වහාම ප්‍රහාර නතර කර දේශපාලන සාකච්ඡා සඳහා යොමු විය යුතු බවයි G7 රටවල් අවධාරණය කරන්නේ.

Discussion & Feedback