ඉන්ස්ටග්රෑම් පාවිච්චි කරන අයට තමන්ගේ ෆීඩ් එකේ පේන දේවල් තමන්ට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් අලුත් පහසුකම් කිහිපයක්ම හඳුන්වා දෙන්න ඉන්ස්ටග්රෑම් ආයතනය කටයුතු කරමින් ඉන්නවා. මේ ගැන ඉන්ස්ටග්රෑම් ප්රධානී ඇඩම් මොසේරි පවසන විදිහට, දැනටමත් තියෙන ‘Your Algorithm’ කියන විශේෂාංගය තවත් දියුණු කරලා, ඒක ඇප් එකේ ප්රධාන කොටසක් බවට පත් කරන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ, ඔබට ඕන දේවල් වැඩිපුර දකින්නත්, එපා දේවල් අඩු කරගන්නත් දැන් තවත් පහසු වෙනවා.
මේ අලුත් වෙනස්කම් යටතේ, ෆීඩ් එක පහළට ඇදලා (pull down) හෝ රීල්ස් (Reels) එකක් උඩට ස්වයිප් කරලා කෙළින්ම මේ සැකසුම් මෙනුවට යන්න පුළුවන් වෙනවා. ඒ වගේම, හැම රීල් එකක්ම යටින් ඒ වගේ තවත් වීඩියෝ දකින්න ඕනද නැද්ද කියලා තීරණය කරන්න බොත්තම් කිහිපයක්ම එකතු කරන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා. මේ දේවල් දැනට පරීක්ෂණ මට්ටමේ තියෙන නිසා, ඉදිරියේදී අපිට මේ පහසුකම් බලාගන්න පුළුවන් වෙයි.
කොහොම වුණත්, මේ ගැන අදහස් දක්වපු ගොඩක් පරිශීලකයන් කියන්නේ, ඇල්ගොරිතම වෙනස් කරනවාට වඩා අපි ෆලෝ කරන අයගේ පෝස්ට් ටික හරියටම අපේ ෆීඩ් එකට එන විදිහට හදලා දෙන්න කියලයි. මොකද ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්රශ්නය තමයි තමන් අනුගමනය කරන අයගේ පෝස්ට් පවා ෆීඩ් එකේ හරියට නොපෙනීම. ඉතින් ඉන්ස්ටග්රෑම් මේ ගැන මොන වගේ තීරණයක් ගනීද කියලා අපි ඉදිරියේදී බලමු.

Discussion & Feedback