නාසා ආයතනය තමන්ගේ අලුත්ම සහ දැවැන්තම අභ්‍යවකාශ දුරේක්ෂය වන ‘නැන්සි ග්‍රේස් රෝමන්’ අභ්‍යවකාශයට යවන්න දැන් සියල්ල සූදානම් කරලා තියෙන්නේ. අගෝස්තු 30 වැනිදා ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ස්පේස්-එක්ස් ෆැල්කන් හෙවි රොකට්ටුවක් මගින් මේ දුරේක්ෂය පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.5ක් ඈතින් පිහිටි අභ්‍යවකාශ කලාපයකට යවන්න නියමිතයි. හබල් දුරේක්ෂයට වඩා සිය ගුණයක විශාල පරාසයක් නිරීක්ෂණය කරන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙන මේ දුරේක්ෂය, වසර පහක් වැනි කෙටි කාලයක් තුළ තරු බිලියන 20ක් සහ මන්දාකිණි බිලියනයකට අධික ප්‍රමාණයක් ගැන දත්ත ලබා ගන්න නියමිතයි.
මේ දුරේක්ෂයේ හැඩය හරියට අහසේ පාවෙන හෙලිකොප්ටරයක් වගේ. මෙහි තියෙන සූර්ය පැනල මගින් අවශ්‍ය විදුලිය ලබා ගන්නා අතරම, අතිශය සංවේදී උපකරණ සිසිල්ව තබා ගන්නත් උදව් වෙනවා. විශේෂයෙන්ම මෙහි අන්තර්ගත ‘වයිඩ් ෆීල්ඩ් ඉන්ස්ට්රියුමන්ට්’ කියන අධි තාක්ෂණික කැමරාව මගින් පෘථිවියේ සිට පෙනෙන පුර පසළොස්වක සඳකටත් වඩා විශාල අභ්‍යවකාශ කොටසක් එකවර ඡායාරූප ගත කරන්න පුළුවන්. මේ නවීන තාක්ෂණය නිසා අලුතින් ග්‍රහලෝක ලක්ෂ දෙකක් පමණ සොයා ගන්න පුළුවන් වෙයි කියලා විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා. මේ මෙහෙයුම අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වේවි.

Discussion & Feedback