ලෝකයේ ප්‍රබලම ආරක්ෂක ආයතනයක් වන ඇමරිකානු FBI ආයතනයේ සමස්ත සේවක මණ්ඩලයේම පෞද්ගලික තොරතුරු හැකර්වරුන් පිරිසක් විසින් සොරාගෙන තිබෙනවා. ‘ShinyHunters’ නමැති මෙම හැකර් කණ්ඩායම පවසන්නේ, තමන් ඉදිරි දින හතර ඇතුළත මෙම රහස් දත්ත අන්තර්ජාලයට මුදාහරින බවයි. මේ නිසා මේ වන විට FBI නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි බියකින් සහ කෝපයකින් පසුවන බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම රහසිගතව සේවය කරන නිලධාරීන්ගේ ජීවිතවලට මෙය විශාල තර්ජනයක් වී තිබෙනවා.
සොරාගත් දත්ත අතර නිලධාරීන්ගේ නිවෙස් ලිපිනයන්, දුරකථන අංක, පවුලේ සාමාජිකයන්ගේ විස්තර සහ ඉතාමත් සංවේදී වෛද්‍ය වාර්තා පවා ඇතුළත් බවයි පැවසෙන්නේ. මේ තොරතුරු භාවිතා කරමින් අපරාධකරුවන්ට නිලධාරීන්ව බ්ලැක්මේල් කිරීමට හෝ ඔවුන්ට ශාරීරික හානි සිදු කිරීමට ඉඩක් පවතිනවා. එපමණක් නොවෙයි, විදේශීය බුද්ධි අංශවලට මෙම නිලධාරීන්ව ඉලක්ක කර ගැනීමටත් මේ දත්ත උදව් විය හැකියි. FBI ආයතනය මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පැවසුවත්, මෙතරම් ආරක්ෂිත ආයතනයක දත්ත මෙලෙස කාන්දු වීම පිළිබඳව නිලධාරීන් දැඩි කලකිරීමකින් පසුවනවා.
මෙම හැකර් ප්‍රහාරය තාක්ෂණික වශයෙන් ඉතාමත් පහත් මට්ටමේ එකක් බවත්, එවැනි කණ්ඩායමකට FBI පද්ධතියට ඇතුළු වීමට ඉඩ ලැබීම ලැජ්ජා සහගත බවත් හිටපු නිලධාරීන් පවසනවා. දැනටමත් මෙම දත්තවලින් කොටසක් අන්තර්ජාලයේ සැරිසරමින් පවතින නිසා, සිදුවිය හැකි හානිය දැනටමත් ආරම්භ වී ඇති බවයි සයිබර් ආරක්ෂක විශේෂඥයන් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback