බ්‍රිතාන්‍යය බලා අනවසරයෙන් සංක්‍රමණිකයන් රැගෙන යන කුඩා බෝට්ටු ජාවාරම්කරුවන්ගේ දැවැන්ත රහසිගත ගබඩාවක් ජර්මනියේදී සොයා ගැනීමට එරට පොලිසිය සමත් වුණා. බටහිර ජර්මනියේ පිහිටි මෙම රහසිගත ස්ථානයේ තිබී ජීවිතාරක්ෂක කබා නව දහසකට අධික ප්‍රමාණයක් සහ විශාල බෝට්ටු රැසක් සොයාගෙන තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ජාතික අපරාධ ඒජන්සිය පවසන විදියට, මෙම උපකරණ භාවිත කරලා සංක්‍රමණිකයන් දෙදහසකට වැඩි පිරිසක් අනතුරුදායක ලෙස ඉංග්‍රීසි සමුද්‍ර සන්ධිය හරහා බ්‍රිතාන්‍යයට රැගෙන යාමට ජාවාරම්කරුවන් සැලසුම් කර තිබුණා.
මීට කලින් ජර්මනියේ පැවති නීති අනුව මෙවැනි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම අපහසු වුණත්, මෑතකදී බ්‍රිතාන්‍යය සහ ජර්මනිය අතර ඇති කරගත් නව ගිවිසුමකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා. මේ ජාවාරම්කරුවන් වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ බටහිර ජර්මනිය කේන්ද්‍ර කරගෙනයි. ඔවුන් චීනයෙන් ගෙන්වන අඩු ප්‍රමිතියකින් යුත් ජීවිතාරක්ෂක කබා සහ බෝට්ටු මෙහි ගබඩා කර පසුව ප්‍රංශය හරහා බ්‍රිතාන්‍යයට යවන බවයි විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙන්නේ. කුර්දි ජාතික අපරාධ ජාලයක් මේ ජාවාරම පිටුපස සිටින බවට බ්‍රිතාන්‍ය බලධාරීන් සැක කරනවා.
සොයාගත් ජීවිතාරක්ෂක කබා සහ බෝට්ටු ඉතාම දුර්වල තත්ත්වයේ පවතින බවත්, ඒවා මුහුදු ගමනකට කිසිසේත්ම සුදුසු නැති බවත් නිලධාරීන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, ජාවාරම්කරුවන් නිරන්තරයෙන්ම තම ක්‍රමවේද වෙනස් කරමින් මේ ජාවාරම දිගටම කරගෙන යාමට උත්සාහ කරනවා. ජර්මනිය සහ බ්‍රිතාන්‍යය එක්ව සිදුකරන මෙම මෙහෙයුම් මගින් ඉදිරියේදී මෙවැනි ජාවාරම් සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකිවනු ඇතැයි බලධාරීන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback