ඉන්දුනීසියාවේ හිටපු අධ්‍යාපන ඇමති නදීම් මකරීම්ට එරෙහිව ගොනු කර තිබූ දැවැන්ත දූෂණ නඩුවක තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත් වුණා. පාසල් සිසුන් සඳහා ගූගල් ක්රෝම්බුක් (Google Chromebook) මිලදී ගැනීමේ ව්‍යාපෘතියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුට වසර දහයක සිරදඬුවමක් නියම කිරීමට එරට අධිකරණය පියවර ගත්තා. මීට අමතරව ඔහුට රුපියල් බිලියනයක දඩ මුදලක් සහ රුපියල් බිලියන 809.6ක වන්දි මුදලක් ගෙවන ලෙසත් නියෝග කර තිබෙනවා. මෙම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් ඔහුට තවත් වසර පහක සිරදඬුවමක් විඳීමට සිදුවනු ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මතු වී ඇති චෝදනාවලට අනුව, මකරීම් සිය බලතල භාවිතා කරමින් ගූගල් සමාගමේ නිෂ්පාදනවලට වාසිදායක වන පරිදි තාක්ෂණික පිරිවිතර සකස් කර තිබෙනවා. විශේෂයෙන්ම, දුෂ්කර ප්‍රදේශවලට නුසුදුසු බවට මීට පෙර තහවුරු වී තිබූ ක්රෝම්බුක් පරිගණක අධික මිලකට මිලදී ගැනීමට ඔහු කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ. තවද, ඔහු ආරම්භ කළ ‘ගෝජෙක්’ (Gojek) සමාගම සහ ගූගල් ආයතනය අතර පැවති ව්‍යාපාරික සබඳතා මෙම ගනුදෙනුවට බලපෑ බවටත් අධිකරණයේදී කරුණු අනාවරණය වුණා. කෙසේ වෙතත්, ගූගල් සමාගම මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ තමන් කිසිදු අයුරකින් රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දී නොමැති බවයි. ඉන්දුනීසියාවේ ඉහළ පෙළේ දේශපාලනඥයෙකු සම්බන්ධයෙන් වාර්තා වූ මෙවැනි දූෂණ නඩුවක් එරට තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

Discussion & Feedback