කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසන්නේ තමන් මීළඟ මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තමන් බලයේ රැඳී සිටීමේ අරමුණින් පමණක් දේශපාලනය නොකරන බවයි. කෙසේ වෙතත්, ලාල් කාන්ත මහතා පෙන්වා දෙන්නේ පුද්ගලයෙකු තනතුරක සිටීම සහ දේශපාලන ව්‍යාපාරයක් බලයේ පැවතීම යනු කරුණු දෙකක් බවයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දිගුකාලීනව පවතිනු ඇති බවත්, එය හුදෙක් සටන් පාඨයක් නොව වත්මන් දේශපාලන තත්ත්වය විශ්ලේෂණය කිරීමෙන් ලැබුණු නිගමනයක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.
තමන් දේශපාලනයෙන් සමුගැනීමක් සිදු නොකරන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු නොවී වුවද දේශපාලනයේ නිරත විය හැකි බවත් ඔහු පවසනවා. ටිල්වින් සිල්වා මහතා වැනි නායකයින් උදාහරණ ලෙස ගනිමින් ඔහු පෙන්වා දෙන්නේ දේශපාලනය යනු තනතුරු දැරීම පමණක් නොවන බවයි. වත්මන් ආණ්ඩුව බිහිවූයේ සාමාන්‍ය මැතිවරණ ජයග්‍රහණයකින් නොව, රටේ ඇතිවූ දැවැන්ත මහජන නැගිටීමකින් බවත්, එමගින් සාම්ප්‍රදායික විපක්ෂය සම්පූර්ණයෙන්ම දුර්වල වී ඇති බවත් ඔහු පවසනවා. දැනට විපක්ෂ නායකවරයෙක් සිටියත්, ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළගැස්විය හැකි ප්‍රබල විපක්ෂ නායකයෙක් නොමැති වීම නිසා ජාතික ජන බලවේගයේ ගමන කිසිවෙකුටත් නතර කළ නොහැකි බවයි ලාල් කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback