දිගු කලක් තිස්සේ අපේ රටේ ආදිවාසී ජනතාව බලාපොරොත්තුවෙන් සිටි ආදිවාසී ජනතා පනත් කෙටුම්පත මේ වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. දඹාන ආදිවාසී උරුමයන් පිළිබඳ කෞතුකාගාරයේදී පැවැති ලෝක ආදිවාසී දිනය සැමරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කළා. පසුගිය කාලය පුරාම උරු වරිගේ වන්නිල ඇත්තෝ ඇතුළු ආදිවාසී නායකයන් විවිධ රජයන්ගෙන් ඉල්ලා සිටි මෙම නීතිමය රාමුව සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර මේ වන විට ගෙන තිබෙනවා. අමාත්‍ය සුනිල් සෙනෙවි මහතාගේ මැදිහත්වීමෙන් මෙම පනත කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති අතර, මේ සතියේ සිටම ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතයි.
ආදිවාසී ජනතාවගේ සාම්ප්‍රදායික ජීවන රටාවට බාධාවක් නොවන පරිදි ඔවුන්ගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා. විශේෂයෙන්ම වනාන්තරවලට ඇතුළු වීමට ඔවුන්ට ඇති අයිතිය, ආදිවාසී ප්‍රජාවන් ලියාපදිංචි කිරීම සහ නීත්‍යානුකූල හැඳුනුම්පත් නිකුත් කිරීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්රයකට ද මේ වන විට අත්සන් තබා තිබෙනවා. සංවර්ධනය යනු ආදිවාසී උරුමයන් විනාශ කිරීම නොවන බවත්, ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩම් අයිතිය සහ ජීවනෝපාය මාර්ග සුරක්ෂිත කරමින් අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීමට රජය කැපවී සිටින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා. ආදිවාසී නායක වන්නිල ඇත්තෝ ද පවසා සිටියේ, රටකට නීති අවශ්‍ය වුවත් ඒවා සකස් කිරීමේදී ආදිවාසී ජනතාවගේ අදහස් සහ සංස්කෘතික පසුබිම නිසි ලෙස සැලකිල්ලට ගත යුතු බවයි.

Discussion & Feedback