ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් වැදගත් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එළඹෙන ජූලි 7 වැනිදා සිට වීසා, විදේශ ගමන් බලපත්‍ර, OCI සහ අනෙකුත් කොන්සියුලර් සේවා සඳහා නව සේවා සපයන්නෙකු ලෙස ‘Alhind Global Services’ ආයතනය තෝරාගෙන ඇති බවයි. මේ වෙනසත් එක්කම කොළඹ, මහනුවර, යාපනය සහ හම්බන්තොට පිහිටි ඉන්දීය කොන්සියුලර් කාර්යාලවල සේවාවන් තවදුරටත් පහසු කරමින් මෙම නව ආයතනය හරහා එම කටයුතු සිදු කෙරෙනවා.
මීට අමතරව, ජනතාවට වඩාත් පහසුවෙන් සේවා ලබාගැනීම සඳහා මඩකලපුවේ අලුතින්ම ඉන්දීය කොන්සියුලර් අයදුම්පත් මධ්‍යස්ථානයක් (ICAC) විවෘත කිරීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ නිසා ජූලි 7 වැනිදා සිට වීසා හෝ වෙනත් කොන්සියුලර් සේවාවක් අවශ්‍ය ඕනෑම කෙනෙකුට ICAC ශ්‍රී ලංකා නිල වෙබ් අඩවිය හරහා ඉතා පහසුවෙන් වේලාවන් වෙන් කරගන්න පුළුවන්.
දැන් ඔබට කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ අලුතින් එකතු වූ මඩකලපුව යන මධ්‍යස්ථාන පහෙන්ම ඔබේ අයදුම්පත් භාරදීමේ හැකියාව ලැබෙනවා. ඉන්දියාවට යන සංචාරකයින්ට සහ විවිධ සේවා අවශ්‍යතා ඇති අයට මෙම නව ක්‍රමවේදය හරහා වඩාත් කාර්යක්ෂම සහ වේගවත් සේවාවක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි බලධාරීන් පවසන්නේ. ඒ නිසා ඔබත් ඉන්දීය වීසා හෝ වෙනත් සේවාවක් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා නම්, ජූලි 7 වැනිදායින් පසුව අදාළ වෙබ් අඩවිය හරහා ඔබේ වේලාව වෙන් කරගන්න අමතක කරන්න එපා.

Discussion & Feedback