ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ නාගර්ජුන පෞද්ගලික පාසලේ විදුහල්පතිනිය වන කල්ලු රූපා රෙඩ්ඩි මහත්මියව අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වෙනවා. ඇයව ඇගේ නිවසේදී පිහියෙන් 27 වතාවක් ඇන ඝාතනය කර තිබියදී සොයාගනු ලැබුවේ පසුගිය අගෝස්තු 12 වැනිදායි. ඇයගේ සැමියා දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොලැබීම නිසා සැක සිතා පොලිසියට දැනුම් දීමෙන් පසුවයි මෙම බිහිසුණු අපරාධය අනාවරණය වුණේ. පොලිසිය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් පසුව මෙම ඝාතනයට සම්බන්ධ එම පාසලේම 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.
පොලිසිය පවසන පරිදි, මෙම සිසුන් දෙදෙනා මීට පෙර පාසල් නේවාසිකාගාරයේදී මුදල් සහ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදුහල්පතිනියගේ දැඩි අවවාදයට ලක්වූ අයයි. එම සිද්ධියෙන් පසුව ඔවුන්ව නේවාසිකාගාරයෙන් ඉවත් කර තිබෙනවා. පළිගැනීමේ චේතනාවෙන් සහ මුදල් සොරකම් කිරීමේ අරමුණින් ඔවුන් මෙම අපරාධය සැලසුම් කර ඇති බවයි හෙළිවී තිබෙන්නේ. විදුහල්පතිනියගේ නිවසට ඇතුළු වූ සිසුන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් සොරාගෙන තිබෙනවා. එහිදී විදුහල්පතිනිය ඔවුන්ව හඳුනා ගැනීම නිසා ඇයව පිහියෙන් ඇන ඝාතනය කර පසුව ගෝවා බලා පලාගොස් තිබෙනවා. සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ එකහමාරකට අධික මුදලක් සහ ඔවුන් මිලදී ගත් අයිෆෝන් දුරකථනයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

Discussion & Feedback