දකුණු ඉන්දීය ප්‍රාන්ත තරගාවලියක් වන තමිල්නාඩු ප්‍රිමියර් ලීග් තරගයක් අතරතුරදී ජංගම දුරකථනයක් භාවිතා කරමින් සිය පෙම්වතියට කෙටි පණිවිඩ යැවූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව පියවර ගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මෙම ක්‍රීඩකයා තරගය පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට පමණක් වෙන්වූ විශේෂ කලාපය තුළදී මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ. සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රියාවක් සඳහා වසර දෙකක තහනමක් පැනවීමට ඉඩ තිබුණත්, ඔහු කිසිදු දූෂිත ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන ඒකකය විසින් ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂයක දඩ මුදලක් පමණක් නියම කර තිබෙනවා.
මෙම ක්‍රීඩකයා වයස අවුරුදු 26ක් වන වමත් පිතිකරුවෙක් වන අතර, පසුගිය රන්ජි කුසලාන තරගාවලියේදී අර්ධ ශතක දෙකක් ලබා ගනිමින් දක්ෂතා පෙන්වූ අයෙක්. කෙසේ වෙතත්, පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින නිසා ඔහුගේ නම මෙතෙක් හෙළි කර නැහැ. ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩකයන්ට ජංගම දුරකථන භාවිතය දැඩි ලෙස තහනම් කර තිබෙන්නේ තරග පාවාදීම් වැනි දූෂිත ක්‍රියා වැළැක්වීමේ අරමුණින්. වාසනාවකට මෙන්, මෙම සිදුවීම දූෂණ චෝදනාවකට වඩා නීති උල්ලංඝනය කිරීමක් ලෙස පමණක් සලකා බැලීම නිසා ඔහුට සිය ක්‍රිකට් දිවිය බේරා ගැනීමට හැකි වී තිබෙනවා.

Discussion & Feedback