ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා පවසන්නේ, අපේ රටට ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී ඉන්දියාව සැමවිටම ශක්තිමත්ව පෙනී සිටින බවයි. කොළඹදී පැවති ඉන්දීය ප්‍රජාව හමුවීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. දෙරට අතර පවතින දීර්ඝකාලීන සංස්කෘතික සහ ශිෂ්ටාචාරමය සබඳතා මෙම මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන බවත්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ ඉතා සමීප බැඳීමක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
මෙහිදී අමාත්‍යවරයා ඉන්දියාවේ ආර්ථික සහ ආරක්ෂක අංශවල සිදුවී ඇති විශාල පරිවර්තනයන් ගැනත් කරුණු පැහැදිලි කළා. විශේෂයෙන්ම ඉන්දියාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 2 සිට 4 දක්වා වර්ධනය වී ඇති ආකාරයත්, ආරක්ෂක අපනයන සහ අයවැය ඉහළ නංවමින් රට ස්වයංපෝෂිත කිරීමට ගෙන ඇති පියවර ගැනත් ඔහු කතා කළා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ශක්තිමත් වී ඇති බවත්, ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ප්‍රජාව දෙරට අතර පාලමක් ලෙස කටයුතු කරන බවත් ඔහු සිහිපත් කළා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ලෙස රාජ්නාත් සිං මහතා ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

Discussion & Feedback