අනුරාධපුර පූජා නගරය ලෝක මට්ටමේ වන්දනා නගරයක් බවට පත් කිරීමේ අරමුණින් ඉන්දීය රජයේ ආධාර ඇතිව රුපියල් බිලියන 6.5ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, මෙම සංවර්ධන සැලැස්ම මේ වසර තුළදීම ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙහිදී පූජා නගරයේ පවතින රථවාහන තදබදය අවම කරමින්, පරිසර හිතකාමී කලාපයක් ලෙස එය සංවර්ධනය කිරීමට විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම බැතිමතුන්ගේ පහසුව සඳහා විදුලි බස් රථ සේවාවක් හඳුන්වා දීමටත්, පාගමනින් යන බැතිමතුන් සඳහා වෙනම මංතීරු සහ විවේක ස්ථාන ඉදිකිරීමටත් සැලසුම් කර තිබීම විශේෂත්වයක්.
මෙම ව්‍යාපෘතිය යටතේ දැනට පවතින වර්ග කිලෝමීටර් 28ක පූජා නගර සීමාව වර්ග කිලෝමීටර් 38ක් දක්වා පුළුල් කිරීමට නියමිතයි. පුරාවිද්‍යාත්මක ස්ථාන හුදෙක් නටබුන් ලෙස නොසලකා, ජනතාව වන්දනාමාන කරන ජීවමාන ඓතිහාසික ස්ථාන ලෙස සලකා සංවර්ධන කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. මීට අමතරව, අභ්‍යන්තර නගරයේ පදිංචි පවුල් 331ක් සඳහා සාධාරණ වන්දි ලබා දෙමින් ඔවුන්ව ලොලුගස්වැව ප්‍රදේශයේ පදිංචි කරවීමටත් පියවර ගන්නවා. යුනෙස්කෝ ආයතනය සහ ඉන්දීය රජය මගින් සිදු කෙරෙන සංවර්ධන කටයුතු පැහැදිලිව වෙන් කර හඳුනාගැනීමට හැකි වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

Discussion & Feedback