අනුරාධපුර පූජා නගරය ලෝක මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතියක් බවට පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබෙනවා. ඉන්දීය රජයේ ආධාර ඇතිව රුපියල් බිලියන 6.5ක වියදමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා පූජා නගරයේ සීමාව වර්ග කිලෝමීටර් 28 සිට 38 දක්වා පුළුල් කිරීමට නියමිතයි. විශේෂයෙන්ම අටමස්ථානය වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසීම මෙහි ප්‍රධාන අරමුණක්. ඒ සඳහා පරිසර හිතකාමී විදුලි බස් රථ සේවාවක් හඳුන්වා දීමටත්, පයින් ගමන් කරන බැතිමතුන් වෙනුවෙන් විශේෂ මංතීරු සහ විවේක ස්ථාන ඉදිකිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම ව්‍යාපෘතියේදී පුරාවිද්‍යාත්මක ස්ථාන හුදෙක් නටබුන් ලෙස නොසලකා, ජනතාව වන්දනාමාන කරන ජීවමාන ඓතිහාසික ස්ථාන ලෙස සංවර්ධනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ වගේම පූජා නගරය තුළ පරිසර දූෂණය අවම කිරීම සඳහා ඩීසල් වාහන සීමා කිරීමටත් පියවර ගන්නවා. අභ්‍යන්තර නගරයේ පදිංචි පවුල් 331ක් සඳහා සාධාරණ වන්දි ලබා දෙමින් ඔවුන්ව ලොලුගස්වැව ප්‍රදේශයේ පදිංචි කරවීමටත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. සැප්තැම්බර් 15 වන විට මෙම සංවර්ධන සැලැස්ම අවසන් කර කඩිනමින් වැඩ ආරම්භ කිරීමටයි රජය බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback