ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමේ අලුත්ම අයිෆෝන් 18 ප්‍රෝ (iPhone 18 Pro) දුරකථනයට අදාළ රහසිගත තොරතුරු රැසක් ටාටා ඉලෙක්ට්‍රොනික්ස් ආයතනයෙන් කාන්දු වී තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය රජය මේ වන විටත් දැඩි පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි එරට තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ. රෑන්සම්වෙයාර් (Ransomware) කණ්ඩායමක් විසින් මෙම දත්ත සොරාගෙන ඒවා ඩාර්ක් වෙබ් (Dark Web) හරහා ප්‍රසිද්ධ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම කාන්දු වූ ලේඛන අතර අයිෆෝන් 18 ප්‍රෝ දුරකථනයේ අමතර කොටස් ලැයිස්තු, සැපයුම්කරුවන්ගේ විස්තර සහ දුරකථනයේ රූප සටහන් පවා ඇතුළත් වෙනවා. ඇපල් සමාගම සාමාන්‍යයෙන් මෙවැනි තොරතුරු ඉතා රහසිගතව තබා ගන්නා නිසා මෙය ඔවුන්ගේ සැපයුම් දාමයට එල්ල වූ විශාල තර්ජනයක් ලෙසයි සැලකෙන්නේ. ටාටා ඉලෙක්ට්‍රොනික්ස් ආයතනයට අමතරව ටෙස්ලා, ක්වෝල්කොම් සහ ටී.එස්.එම්.සී වැනි දැවැන්ත සමාගම්වලට අයත් තොරතුරුත් මේ හරහා කාන්දු වී ඇති බව පැවසෙනවා.
මේ වන විට ඉන්දියාවේ ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සිය වන ‘සර්ට්-ඉන්’ (CERT-In) ආයතනය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. ටාටා ඉලෙක්ට්‍රොනික්ස් ආයතනයත් මේ ගැන සොයා බැලීමට ජාත්‍යන්තර උපදේශන ආයතනයක සහාය ලබාගෙන තිබෙනවා. සැප්තැම්බර් මාසයේදී අයිෆෝන් 18 ප්‍රෝ සහ ප්‍රෝ මැක්ස් මාදිලි එළිදැක්වීමට නියමිතව තිබියදී මෙවැනි දත්ත කාන්දුවක් සිදුවීම ඇපල් සමාගමට විශාල හිසරදයක් වී ඇති බවයි තාක්ෂණික ක්ෂේත්රයේ විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback