පරිසර දූෂණය අවම කර ගැනීමේ අරමුණින් ඉන්දියාව තමන්ගේම හයිඩ්රජන් බලයෙන් ක්‍රියාත්මක පළමු දුම්රිය පසුගියදා සාර්ථකව දියත් කළා. හර්යානා ප්‍රාන්තයේ ජින්ඩ් සහ සෝනිපාට් අතර කිලෝමීටර් 89ක දුරක් මෙම දුම්රිය ධාවනය වන අතර, මෙහි ඇති විශේෂත්වය තමයි මෙය කිලෝවොට් 1,200ක හයිඩ්රජන් ඉන්ධන කෝෂ පද්ධතියකින් බලගැන්වීම. මේ තාක්ෂණය හරහා දුම්රියෙන් පිටවන්නේ ජලය සහ වාෂ්ප පමණක් නිසා පරිසරයට කිසිදු හානියක් වෙන්නේ නැහැ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසන පරිදි, මෙය ඉන්දියාවේ තිරසාර සංවර්ධනය සහ ස්වයංපෝෂිත ගමනට ලැබුණු විශාල ජයග්‍රහණයක්.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 12ක් පමණ වැය වී තිබෙනවා. මුල් අවස්ථාවේදී පිරිවැය තරමක් ඉහළ මට්ටමක පැවතියත්, තාක්ෂණය දියුණු වන විට ඉදිරියේදී වියදම අඩු කරගන්න පුළුවන් වෙයි කියලා බලධාරීන් විශ්වාස කරනවා. ඒ වගේම ජින්ඩ් ප්‍රදේශයේ විශාලතම හයිඩ්රජන් ගබඩා කිරීමේ සහ ඉන්ධන පිරවීමේ මධ්‍යස්ථානයක්ද මේ වෙනුවෙන් ඉදි කරලා තියෙනවා. දැනටමත් ජර්මනිය, ජපානය සහ චීනය වැනි රටවල් මෙම තාක්ෂණය අත්හදා බලමින් සිටින අතර, ඉන්දියාවත් ලෝකයේ ප්‍රධාන පෙළේ දුම්රිය ජාලයක් හිමි රටක් විදිහට මේ හරිත ගමනට එකතු වීම විශේෂත්වයක්.
ඉන්දියාවේ දුම්රිය සේවය පසුගිය කාලය පුරාම විශාල නවීකරණයකට ලක් වුණා. වන්දේ භාරත් වැනි වේගවත් දුම්රිය හඳුන්වා දීම සහ ජපාන තාක්ෂණයෙන් බුලට් ට්‍රේන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම හරහා ඔවුන්ගේ දුම්රිය ජාලය ලෝක මට්ටමට ගෙන ඒමට උත්සාහ කරනවා. මේ හයිඩ්රජන් දුම්රිය ව්‍යාපෘතියත් එක්ක ඉන්දියාවේ දුම්රිය ගමන් මග ඉදිරියේදී තවත් කාර්යක්ෂම සහ පරිසර හිතකාමී එකක් වේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback