ඉන්දියාවේ ඩෙංගු රෝගය පාලනය කිරීමේ ප්රයත්නයක තවත් වැදගත් පියවරක් තබමින්, වයස අවුරුදු 4ත් 60ත් අතර පුද්ගලයන් සඳහා ‘QDENGA’ නම් ඩෙංගු එන්නත භාවිත කිරීමට එරට ඖෂධ පාලක ජනරාල්වරයා විසින් නිල වශයෙන් අනුමැතිය ලබා දී තිබෙනවා. මෙය ඉන්දියාවේ ඩෙංගු රෝගය සඳහා අනුමත වූ පළමු එන්නත වන අතර, මීට පෙර ඩෙංගු වැළඳී තිබේද යන්න පරීක්ෂා කිරීමකින් තොරව ඕනෑම අයෙකුට මෙම එන්නත ලබා ගැනීමට හැකියාව පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත පදනම්ව මෙම එන්නත හඳුන්වා දී ඇත්තේ ඩෙංගු වෛරසයේ ප්‍රභේද හතරටම එරෙහිව ආරක්ෂාව ලබා දීමේ අරමුණින්.
ලොව පුරා රටවල් 43ක දැනටමත් භාවිතයේ පවතින මෙම එන්නත, මාස තුනක පරතරයකින් මාත්‍රා දෙකක් ලෙස ලබා දිය යුතුයි. ඉන්දියාවේ වාර්ෂිකව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින අතර, මෙම එන්නත මගින් රෝහල්ගත වීම් සහ බරපතල සංකූලතා අවම කර ගැනීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරනවා. දැනටමත් ලොව පුරා මාත්‍රා මිලියන 32කට වඩා බෙදාහැර ඇති මෙම එන්නත, ඩෙංගු වසංගත තත්ත්වයන් පාලනය කිරීමට සහ මහජන සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ඉන්දියාවට ලැබුණු කදිම අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.
ඩෙංගු රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති පසුබිමක, මෙවැනි එන්නතක් හඳුන්වා දීම ඉන්දියාවේ පමණක් නොව කලාපීය වශයෙන්ම වැදගත් සන්ධිස්ථානයක්. ටකේඩා සමාගම පවසන පරිදි, මෙම එන්නත මගින් ඩෙංගු වෛරසයේ සියලුම ප්‍රභේදවලින් ආරක්ෂාව සලසන අතර, එය ඉන්දියාවේ ඩෙංගු රෝගීන්ගේ බර අඩු කර ගැනීමටත්, මරණ සංඛ්‍යාව අවම කිරීමටත් ඉවහල් වනු ඇති. ඉදිරියේදී මෙම එන්නත ඉන්දීය මහජන ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වලට ඇතුළත් කරමින් පුළුල් ලෙස ජනතාවට ලබා දීමට නියමිතයි.

Discussion & Feedback