පසුගිය දින කිහිපය පුරා රටේ විවිධ ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවලට අනුව දිස්ත්‍රික්ක නවයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 56ක් මෙම ආපදා තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. මේ වන විට පවුල් 3,014කට අයත් පුද්ගලයන් 11,832 දෙනෙකු විවිධ දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම ආපදා තත්ත්වය නිසා තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. දේපළ හානි සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරුවලට අනුව, එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 290කට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා. අයහපත් කාලගුණය තවදුරටත් පවතින බැවින් පහත් බිම්වල සහ කඳුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ගංවතුර සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල සිටින පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු වීමට සැදී පැහැදී සිටීම ඉතා වැදගත් බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

Discussion & Feedback