හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ පුතුන් වන කාසිම් සහ සුලෙයිමාන් ඛාන්, තම පියා රඳවා සිටින බන්ධනාගාර තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. ඔවුන් පවසන්නේ පාකිස්තාන හමුදාපති අසීම් මුනීර් මහතා තම පියා කෙරෙහි පෞද්ගලික වෛරයකින් කටයුතු කරන බවයි. 2023 වසරේ සිට රාවල්පින්ඩිහි අඩියාලා බන්ධනාගාරයේ සිරගතව සිටින ඉම්රාන් ඛාන්ව ඉතා කුඩා සිර මැදිරියක තනිව රඳවා සිටින අතර, මාස හයකට අධික කාලයක් තිස්සේ පවුලේ අයට ඔහුව දැක ගැනීමට හෝ කතා කිරීමට අවස්ථාවක් ලැබී නැහැ. ඔහු දරුණු ඇස් ආබාධයකින් සහ අධික රුධිර පීඩනයෙන් පෙළෙන බවත්, නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම නිසා ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවත් පුතුන් පවසනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පෙන්වා දෙන්නේ ඉම්රාන් ඛාන් රඳවා සිටින ආකාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි. බන්ධනාගාරය තුළ ඔහුට සිදුවන මෙම අමානුෂික සැලකීම් මානසික සහ ශාරීරික වධහිංසාවක් ලෙස ඔවුන් හඳුන්වනවා. මේ අතර, ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන පී.ටී.අයි සංවිධානය ඔහුව නිදහස් කරගැනීම සඳහා රටපුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැනගැනීමට සහ ඔහු සමඟ කතා කිරීමට පවුලේ අයට ඇති අයිතිය පවා පාකිස්තාන බලධාරීන් විසින් අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බවයි ඔහුගේ පුතුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Discussion & Feedback