ශ්‍රී ලංකාවේ බදු ආදායම් ක්‍රමවේදයන් නවීකරණය කිරීම සහ ඒ සම්බන්ධයෙන් මේ වන විට සිදුවෙමින් පවතින ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය (RARMB) අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනාධිපති ලේකම් නන්දික සනත් කුමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර, මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගය යටතේ පසුගිය වසරේ ක්‍රියාත්මක කළ බදු පරිපාලන සහ රේගු ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා. විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල සිදුවන ඩිජිටල්කරණය සහ දත්ත ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය සෑහීම පළ කර තිබෙනවා.
මේ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිදුකළ ප්‍රතිව්‍යුහගත කිරීම් හේතුවෙන් බදු අනුකූලතාව මීට පෙර පැවති 40-45%ක මට්ටමේ සිට 70-75% දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඉදිරියේදී රේගු ආඥාපනත සංශෝධනය කිරීම, කඩදාසි රහිත රේගු ක්‍රමවේද හඳුන්වාදීම සහ අපනයනකරුවන් සඳහා වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම වැනි තවත් වැදගත් ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශන සහයෝගය අඛණ්ඩව ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළ කර තිබෙන අතර, ශ්‍රී ලංකාවේ බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙළට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback