පසුගිය 2024 වසරේ සිට මේ දක්වා කාලය තුළදී නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 3,811ක් වටිනා වත්කම් රජයට පවරා ගැනීමට පොලිසිය පියවර ගනිමින් ඉන්නවා. ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව සඳහන් කළා. ඒ අනුව 2024 වසරේදී රුපියල් මිලියන 1,490ක වත්කම්ද, 2025 වසරේදී රුපියල් මිලියන 1,549ක වත්කම්ද, මේ වසරේ මේ දක්වා රුපියල් මිලියන 772ක වත්කම්ද මෙලෙස රාජසන්තක කිරීමට නීතිමය කටයුතු ආරම්භ කර තිබෙනවා.
මෙම ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් 239,384 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 995 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. තවද සැකකරුවන් 378 දෙනෙකුගේ වත්කම් පිළිබඳව විශේෂ විමර්ශන සිදු කෙරෙන අතර, සැකකරුවන් 3,287 දෙනෙකු රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන බවත් පොලිසිය පවසනවා.
පසුගිය මාස නවයක කාලය තුළදී පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 2,253කට අධික ප්‍රමාණයක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,640කට වැඩි ප්‍රමාණයක් සහ කොකේන් කිලෝග්‍රෑම් 293කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. මෙම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 102,116ක් ලෙස ගණන් බලා තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නීතිවිරෝධී වත්කම් හඳුනාගෙන ඒවා රාජසන්තක කිරීමේ වැඩපිළිවෙල ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Discussion & Feedback