විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යම් අවදානමක් දැනෙනවා නම්, එම යෝජනාව ඉදිරියට ගෙන නොයන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සංවර්ධන කටයුතු හෝ ජාත්‍යන්තර සබඳතා වැනි ක්ෂේත්රවලදී රජයකට අවදානම් ගැනීමට සිදුවුවත්, අධිකරණයේ ස්වාධීනත්වය යනු කිසිසේත්ම සම්මුතියකට යා නොහැකි මූලික මූලධර්මයක් බවයි. අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් විය හැකි ඕනෑම පියවරක් රටට බරපතළ ගැටලුවක් බවත්, එවැනි අවදානමක් පවතින විට එය නොකිරීම වඩාත් සුදුසු බවත් ඔහු අවධාරණය කළා.
මේ සම්බන්ධයෙන් රජය සමඟ ගැටුමකට යාමට නීතිඥ සංගමය බලාපොරොත්තු නොවන බවත්, ඒ වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් සුදුසු එකඟතාවකට පැමිණීමට උත්සාහ කරන බවත් අමරසූරිය මහතා සඳහන් කළා. කෙසේ වෙතත්, අධිකරණයේ ස්වාධීනත්වය අභියෝගයට ලක්වන ඕනෑම අවස්ථාවක ඊට එරෙහිව දැඩිව පෙනී සිටීමට නීතිඥ සංගමය සූදානම් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. ජනාධිපතිවරයාගේ තීරණය කුමක් වේදැයි අනුමාන කිරීමට තමන් අපේක්ෂා නොකරන බව පැවසූ අමරසූරිය මහතා, රජය මෙම යෝජනාව සම්බන්ධයෙන් යළි සලකා බලා රටට සහ අධිකරණ පද්ධතියට ගැලපෙන සාධාරණ තීරණයක් ගනු ඇතැයි තමන් තවමත් බලාපොරොත්තු වන බවත් සඳහන් කළා.

Discussion & Feedback