යුක්රේනයේ කෙර්සන් ප්‍රදේශයේදී තුවාල ලැබූ කාන්තාවකට ප්‍රතිකාර කිරීමට ගිය ඉනා ලිට්විනෙන්කෝ නම් හෙදියට මුහුණ දීමට සිදුවූයේ ඉතා බිහිසුණු අත්දැකීමකටයි. ඇය ගමන් කළ ගිලන් රථයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ අතර, ඉන්පසු තවත් ඩ්‍රෝන යානයක් ඇයව දඩයම් කරන්නාක් මෙන් ලුහුබැඳ ගොස් තිබෙනවා. “මම දුවන්න පටන් ගත්තේ නැත්නම් මම මැරෙනවා කියලා මට හොඳටම විශ්වාසයි” යැයි ඇය පවසන්නේ බියකරු මතකයන් සිහිපත් කරමිනුයි. මෙම ප්‍රහාරය හුදෙක් අහම්බයක් නොව, හිතාමතාම වෛද්‍ය කණ්ඩායම් ඉලක්ක කරගත් ‘සෆාරි දඩයමක්’ වැනියි. ඇය පැළඳ සිටි වෛද්‍ය නිල ඇඳුම සහ ගිලන් රථයේ සලකුණු පැහැදිලිව පෙනෙන්නට තිබියදීත්, ඩ්‍රෝන ක්‍රියාකරුවන් ඇයව ඉලක්ක කර තිබීම කනගාටුදායකයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව, 2022 වසරේ සිට යුක්රේනයේ සෞඛ්‍ය සේවා ඉලක්ක කරගෙන ප්‍රහාර 3,100කට අධික සංඛ්‍යාවක් එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම මුලින් ප්‍රහාරයක් එල්ල කර, එම ස්ථානයට පැමිණෙන ගලවා ගැනීමේ කණ්ඩායම් ඉලක්ක කර දෙවන වරටත් ප්‍රහාර එල්ල කරන ‘ඩබල් ටැප්’ (double-tap) උපක්‍රමය රුසියාව නිතරම භාවිතා කරන බවයි වාර්තා වන්නේ. ජිනීවා සම්මුතියට අනුව යුද සමයකදී වෛද්‍ය මධ්‍යස්ථාන සහ ගිලන් රථ ආරක්ෂා කළ යුතු වුවත්, රුසියාව විසින් මෙම නීති උල්ලංඝනය කරමින් ක්‍රමානුකූලව වෛද්‍ය පහසුකම් විනාශ කරමින් සිටිනවා. මෙම තත්ත්වය යුක්රේනයේ වෛද්‍ය ක්ෂේත්රයට දරාගත නොහැකි බරක් වී ඇති අතර, අහිංසක ජීවිත බේරා ගැනීමට වෙහෙසෙන වෛද්‍යවරුන්ගේ ජීවිත දිනෙන් දින අවදානමට ලක්ව තිබෙනවා.

Discussion & Feedback