මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම සහ තවත් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා. යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන් කිරීමේ නඩුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ ඔහු මේ සාක්ෂි ලබා දීම සිදු කළේ. කීත් නොයාර් පැහැරගැනීමෙන් පසුව ලලිත් අලහකෝන් තමාට දුරකථන ඇමතුමක් ලබා දුන්නාද යන්න ගැන විමසූ විට, එම සිදුවීම් වසර 15කට පෙර සිදු වූ ඒවා නිසා තමාට කිසිවක් මතක නැති බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
එමෙන්ම, හමුදාවේ ත්‍රිපෝලි කඳවුරේ සාමාජිකයන් කිහිප දෙනෙක් මෙම පැහැරගැනීමට අදාළව අත්අඩංගුවට ගත් බව තමා නොදන්නා බවත් ඔහු සඳහන් කළා. කීත් නොයාර් නිදහස් කර ගැනීමට තමා මැදිහත් වූ බවට එල්ල වන චෝදනා ඔහු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අතර, තමා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සිදු වූ බව කියන පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම් සියල්ල දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ කීර්තිනාමයට හානි කිරීමට ගොතන ලද අසත්‍ය චෝදනා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 27 වැනිදා දක්වා කල් තැබූ අතර, එදිනට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට නියෝග කර තිබෙනවා.

Discussion & Feedback