හංගේරියාවේ දේශපාලන කරළියේ දැවැන්ත වෙනසක් සිදුවෙමින් පවතිනවා. පසුගිය අප්‍රේල් මාසයේ පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අගමැති පීටර් මැග්යාර්ගේ ටිසා පක්ෂය, හිටපු අගමැති වික්ටර් ඕර්බන්ගේ සමීපතමයෙකු වූ ජනාධිපති ටාමාස් සුලියොක්ව තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය භාවිතා කරමින් සම්මත කරගත් මෙම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ සහ ව්‍යවස්ථාදායක උසාවියේ ප්‍රධානියාගේ ධුර කාලය අවසන් කිරීමටයි රජය කටයුතු කර ඇත්තේ. මෙම තීරණයත් සමඟ හංගේරියාවේ දේශපාලන වාතාවරණය ඉතා උණුසුම් වී තිබෙනවා.
මෙම සංශෝධනයට එරෙහිව විපක්ෂයේ ෆිඩෙස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටව ගිය අතර, ඔවුන් චෝදනා කරන්නේ රජය ඒකාධිපති පාලනයක් ගෙන යන බවයි. කෙසේ වෙතත්, නව රජය පවසන්නේ ඕර්බන්ගේ පාලන සමයේදී රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වී තිබූ බවත්, එය නිවැරදි කිරීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බවත්ය. ජනාධිපති සුලියොක්ට දැන් දින පහක් ඇතුළත මෙම සංශෝධනයට අත්සන් තැබීමට හෝ ව්‍යවස්ථාදායක උසාවියට යොමු කිරීමට සිදුව තිබෙනවා. ඔහු එය ප්‍රතික්ෂේප කළහොත් දෝෂාභියෝගයක් හරහා ඔහුව ඉවත් කිරීමට මැග්යාර් පියවර ගන්නා බව දැනටමත් ප්‍රකාශ කර අවසන්. හිටපු අගමැති වික්ටර් ඕර්බන් මේ වන විට දේශපාලන කරළියෙන් බොහෝ දුරට ඉවත්ව සිටින අතර, ඔහුගේ පක්ෂය තුළද දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

Discussion & Feedback