ප්‍රසිද්ධ නළු දිල්ජිත් දොසාන්ජ් ප්‍රධාන චරිතය නිරූපණය කරන ‘සට්ලජ්’ නම් මානව හිමිකම් චිත්‍රපටය ඉන්දියාවේ Zee5 ඔස්සේ විකාශය ආරම්භ කර දින දෙකකින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ ජස්වන්ත් සිං ඛල්රාගේ සත්‍ය කතාව පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය, පසුගිය ජූලි 3 වැනිදා නිකුත් වුවත්, පවතින නොදන්නා හේතු මත එය නැවත දැනුම් දෙන තුරු ඉන්දියාව තුළ ප්‍රදර්ශනය නොකරන බව Zee5 ආයතනය පවසනවා. කෙසේ වෙතත්, ඉන්දියාවෙන් පිටත රටවල මෙම චිත්‍රපටය තවමත් නරඹන්නන්ට ලබාගත හැකි බවයි වාර්තා වෙන්නේ.
මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ කාලයේ සිටම විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වුණා. මුලින් ‘ඝල්ලුඝාරා’ සහ පසුව ‘පන්ජාබ් 95’ ලෙස නම් කළ මෙම චිත්‍රපටය, ඉන්දීය සිනමා මණ්ඩලය විසින් දැඩි කප්පාදුවලට ලක් කිරීමට නියෝග කර තිබුණා. චිත්‍රපටයේ අධ්යක්ෂ හනී තෙහාන් පවසන පරිදි, රජයේ නිලධාරීන්ගෙන් චිත්‍රපටය ප්‍රදර්ශනය නොකරන ලෙස දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත්, තමන් මෙම චිත්‍රපටය නැවත ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව Zee5 ආයතනය සඳහන් කරනවා. 1984 සිට 1994 දක්වා පන්ජාබයේ සිදු වූ අතුරුදහන් කිරීම් සහ මනුෂ්‍ය ඝාතන පිළිබඳව මෙම චිත්‍රපටයෙන් කතා කරන නිසා, එය ඉන්දියාව තුළ මෙවැනි මතභේදයකට තුඩු දී තිබෙනවා.

Discussion & Feedback