අභ්යවකාශ විද්යාඥයන් විසින් අපේ ක්ෂීරපථ මන්දාකිණියේ සිදුවූ අතිශය දුර්ලභ තාරකා පිපිරීමක් පිළිබඳව අලුත්ම තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. හබල් අභ්යවකාශ දුරේක්ෂය භාවිතයෙන් සිදුකළ නිරීක්ෂණවලදී පෙනී ගිහින් තියෙන්නේ ‘V445 Puppis’ නමින් හැඳින්වෙන මෙම තාරකා පද්ධතියෙන් පැයට සැතපුම් මිලියන 20ක පමණ අතිවිශාල වේගයකින් අභ්යවකාශය හරහා ‘වෙඩි උණ්ඩ’ වැනි වායු පිපිරීම් පිටතට විසිවෙන බවයි. වසර 2000දී මුලින්ම නිරීක්ෂණය වුණු මෙම පිපිරීම, හීලියම් නෝවා (helium nova) වර්ගයේ එකම පිපිරීම ලෙසයි සැලකෙන්නේ. දිගු කලක් තිස්සේ මෙම පද්ධතිය වටා තිබූ ඝන දූවිලි වලාකුළු නිසා එහි සැබෑ ස්වභාවය හඳුනාගැනීම අපහසු වුණත්, දැන් එම දූවිලි ඉවත් වීමත් සමඟ විද්යාඥයන්ට එහි රහස් සොයාගන්න පුළුවන් වෙලා තියෙනවා.
මෙම පද්ධතියේ තියෙන්නේ මියගිය තාරකාවක් (white dwarf) සහ එය විසින් ආහාරයට ගන්නා තවත් දුර්ලභ හීලියම් තාරකාවක්. මෙම සුදු වාමන තාරකාව තමන්ගේ සහකාර තාරකාවෙන් හීලියම් උරා ගැනීම නිසා මෙවැනි දැවැන්ත පිපිරීම් සිදුවෙනවා. විශේෂම දේ තමයි, මේ විදිහට පිටවෙන ‘වෙඩි උණ්ඩ’ වැනි වායු කොටස් වෙනත් කිසිදු නෝවා පිපිරීමකදී මීට පෙර දැකලා නැති වීම. මේ වන විට විද්යාඥයන් සැක කරන්නේ මෙම තාරකා පද්ධතිය නැවතත් පිපිරීමකට ලක්වීමට සූදානම් වන බවයි. මෙය තාරකා විද්යාවේදී ඉතා වැදගත් වන ‘Type Ia’ සුපර්නෝවා පිපිරීම් පිළිබඳව තවදුරටත් අධ්යයනය කිරීමට විශාල පිටුවහලක් වේවි කියලා ඔවුන් විශ්වාස කරනවා.

Discussion & Feedback