මීගමුව බන්ධනාගාරයේ ඇතිවුණු නොසන්සුන්කාරී තත්ත්වය සහ ඉන් අනතුරුව බන්ධනාගාර කිහිපයකම වාර්තා වුණු ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරවලට මාරු කරපු රැඳවියන් දෙදෙනෙක් මියයාම සහ රැඳවියන්ට සිදුවුණු වධහිංසා පිළිබඳව ඔවුන් වැඩි අවධානයක් යොමු කරනවා. දැනට කොමිෂන් සභාව බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සාක්ෂි එකතු කරමින් ඉන්නවා.
පරීක්ෂණ කටයුතු සඳහා බන්ධනාගාරවලට ගිය අවස්ථාවේදී, තුවාල ලබා සිටින රැඳවියන්ට නිසි වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර ලැබිලා නැති බවත්, ඒක බරපතල තත්ත්වයක් බවත් කොමිෂන් සභාව පෙන්වා දෙනවා. ඒ වගේම, පසුගිය ජූලි 7 වැනිදා රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයට හදිසි පරීක්ෂාවක් සඳහා ගිය අවස්ථාවේදී කොමිෂන් සභාවේ නිලධාරීන්ට ඇතුළු වෙන්න අවසර නොදීම සම්බන්ධයෙන් ඔවුන් දැඩි අප්‍රසාදය පළ කරලා තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා කැඳවීමටත් පියවර අරන් තියෙනවා.
මේ පරීක්ෂණයේ ප්‍රගතිය ගැන ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බවත්, මාධ්‍ය ආයතන මේ වගේ සංවේදී සිදුවීම් වාර්තා කිරීමේදී වගකීමෙන් කටයුතු කළ යුතු බවත් මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරනවා.

Discussion & Feedback