ත්‍රිකුණාමලය ශාන්ත ජෝසප් විද්‍යාලයේදී පැවති උසස් පෙළ විභාගයට පෙනී සිටි මුස්ලිම් සිසුවියන් පිරිසක් හිජාබය පැළඳ සිටීම හේතුවෙන් ඔවුන්ගේ විභාග ප්‍රතිඵල අත්හිටුවීම බරපතල මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. විභාගයේදී කන් ආවරණය නොවන පරිදි හිස ආවරණය පැළඳිය යුතු බවට වූ රීතිය උල්ලංඝනය කළ බව පවසමින් මෙම පියවර ගෙන තිබුණත්, විභාග මධ්‍යස්ථානයේ සිටි අධීක්ෂකවරුන් සහ නිලධාරීන් පවසන්නේ එවැනි කිසිදු නීති විරෝධී සිදුවීමක් වාර්තා වී නොමැති බවයි. පිටස්තර නිලධාරියෙකුගේ අත්තනෝමතික මැදිහත්වීමක් මත මෙම සිසුවියන් අසාධාරණයට ලක්ව ඇති බව කොමිසම විසින් සිදුකළ විමර්ශනවලදී තහවුරු වී තිබෙනවා.
මෙම සිදුවීම නිසා සිසුවියන්ගේ අධ්‍යාපන අයිතිය සහ ආගමික නිදහස දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බවත්, ඔවුන්ව සමාජය තුළ අපහසුතාවයට පත් කර ඇති බවත් කොමිසම පෙන්වා දෙනවා. එබැවින්, මෙම අසාධාරණ තීරණයට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනාගතයේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට විභාග දෙපාර්තමේන්තුව පැහැදිලි මාර්ගෝපදේශ නිකුත් කළ යුතු බවත් කොමිසම නිර්දේශ කර තිබෙනවා. ආගමික ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි විභාග කටයුතු සංවිධානය කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කර ඇති අතර, සිසුවියන්ගේ අනාගතය වෙනුවෙන් කඩිනම් විසඳුමක් ලබා දීම අත්‍යවශ්‍ය බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

Discussion & Feedback