මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නයිජීරියාවේ ඝන කැලෑවක් තුළ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය දැවැන්ත ‘මෙත්’ (Meth) හෙවත් ස්ඵටික මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පිළිබඳ පුවතක් මේ වන විට ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා. නයිජීරියානු බලධාරීන් විසින් මෙම ස්ථානය වටලා මෙක්සිකානු ජාතිකයන් තිදෙනෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් අතර, නඩුවේ සාක්ෂි විභාග කිරීම සඳහා විනිසුරුවරයා ඇතුළු නීතිඥ කණ්ඩායම කෙළින්ම කැලෑව මැද තිබූ මෙම රසායනාගාරය වෙතම ගොස් තිබීම විශේෂත්වයක්. එහිදී ඩොලර් මිලියන 360ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි වූ අතර, මෙය නයිජීරියාවේ මෙතෙක් සිදු කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙසයි වාර්තා වෙන්නේ.
මෙම සිදුවීමෙන් පැහැදිලි වන්නේ අප්‍රිකානු කලාපය, විශේෂයෙන්ම බටහිර අප්‍රිකාව, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බවයි. මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය කල්ලි විසින් ඔවුන්ගේ විශේෂඥයන් යොදවා අප්‍රිකානු රටවල මෙවැනි රසායනාගාර පවත්වාගෙන යන බවත්, පසුගිය වසර කිහිපය තුළ පමණක් නයිජීරියාව, කෙන්යාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවලින් මෙවැනි රසායනාගාර රැසක් සොයාගෙන ඇති බවත් ඇමරිකානු බුද්ධි අංශ පෙන්වා දෙනවා. ලෝකයේ පවතින උසස්ම තත්ත්වයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා මෙම ජාවාරම්කරුවන් මෙක්සිකානු තාක්ෂණය සහ අමුද්‍රව්‍ය භාවිතා කරන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Discussion & Feedback