බ්‍රිතාන්‍ය පාලනයෙන් හොංකොං රාජ්‍යය නිදහස් වී චීනයට එක් වූ පසු එහි පළමු ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ටුං චී-හ්වා වයස අවුරුදු 89 දී අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1997 වසරේදී බ්‍රිතාන්‍ය පාලනය අවසන් කරමින් හොංකොං රාජ්‍යයේ බලය චීනයට පැවරීමෙන් පසු, එරට පාලනය භාරගත් පළමු නායකයා වුණේ ඔහුයි. ඔහු මිය යන විට සිය පවුලේ සාමාජිකයන් අසල සිටි බවයි වාර්තා වෙන්නේ. ඔහුගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වුණේ, ඔහු තම රට සහ ජනතාව වෙනුවෙන් කැපවූ උතුම් චරිතයක් බවයි.
ටුං චී-හ්වාගේ පාලන කාලය එතරම් සුමට එකක් වුණේ නැහැ. ආසියානු මූල්‍ය අර්බුදය, කුරුළු උණ වසංගතය සහ සාර්ස් (SARS) වසංගතය වැනි අභියෝග රැසකට ඔහුට මුහුණ දීමට සිදු වුණා. විශේෂයෙන්ම 2003 වසරේදී ජාතික ආරක්ෂක පනතට එරෙහිව ලක්ෂ පහක පමණ ජනතාවක් වීදි බැස විරෝධය පළ කිරීම ඔහුගේ පාලන කාලයේ දැඩි කතාබහට ලක්වූ සිදුවීමක්. මෙම විරෝධතා හමුවේ ඔහුට එම නීතිය අත්හැරීමට සිදු වූ අතර, පසුව 2005 වසරේදී ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා. ව්‍යාපාරික ක්ෂේත්රයෙන් දේශපාලනයට පිවිසි ඔහු, චීන රජයේ දැඩි විශ්වාසය දිනාගත් නායකයෙකු ලෙස සැලකෙනවා.
ඔහුගේ අවසන් කාලයේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවූ අතර, 2021 වසරේදී ඔහු හෘද සැත්කමකට ද භාජනය වුණා. බිරිඳ සහ දරුවන් තිදෙනෙකු ඉතිරි කරමින් ඔහු මෙලොවින් සමුගත්තේ හොංකොං ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් අවසන් කරමින්. ඔහුගේ අභාවය පිළිබඳව චීන බලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් ශෝකය පළ කර තිබෙනවා.

Discussion & Feedback