2019 පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් දඬුවම් නියම කළා. තමන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අදහස් දක්වමින් පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ තමන් කිසිවෙකුගේ මරණයකට හිතාමතා දායක නොවූ බවයි. තමන් පොලිස්පතිවරයා ලෙස ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් දැරූ බව පිළිගන්නා අතරම, අනෙක් නිලධාරීන් නිදහස් වෙද්දී තමන්ට පමණක් දැඩි පීඩනයක් එල්ල වූ බව ඔහු කියා සිටියා.
හේමසිරි ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ තමන්ට ස්වාධීන මෙහෙයුම් බලතල නොතිබූ බවත්, තමන් ක්‍රියා කළේ එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත බවත්ය. බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් නිලධාරීන් තමන්ව දැනුවත් නොකළ බවත්, ප්‍රහාරය සිදුවන දිනට පෙර ලැබුණේ වට්ස්ඇප් පණිවිඩ දෙකක් පමණක් බවත් ඔහු අවධාරණය කළා. තමන්ට හමුදාව කැඳවීමට හෝ ඇඳිරි නීතිය පැනවීමට බලයක් නොතිබූ බව පවසන ඔහු, අවසානයේදී “ඉතිහාසය විසින් දිනක මා නිදොස් කරනු ඇතැයි” විශ්වාසය පළ කළා. වයස අවුරුදු 76ක් වන තමන්ට බන්ධනාගාරයේදී වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියා. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් ඔවුන් වරදකරුවන් කෙරුණත්, එක් විනිසුරුවරයෙකු ඔවුන් නිදොස් කර නිදහස් කළ යුතු බවට මත පළ කර තිබීම විශේෂත්වයක්.

Discussion & Feedback