කැලිෆෝනියාවේ මවුන්ට් ශාස්තා කන්ද තරණය කිරීමට ගිය තරුණයින් තිදෙනෙකුට ගූගල් ජෙමිනායි (Gemini) කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මත පමණක් විශ්වාසය තැබීම නිසා බරපතල අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවුණා. මේ තරුණයින් තිදෙනා තම ගමන සැලසුම් කර තිබුණේ මෙම AI තාක්ෂණයේ උපදෙස් ලබා ගනිමින්. ඔවුන් අලුයම 3ට ගමන ආරම්භ කළත්, කන්ද මුදුනට ළඟා වීමට සවස 7 වනතුරු කාලය ගතවී තිබෙනවා. සාමාන්‍යයෙන් කඳු නගින්නන්ට දහවල් 12ට පෙර මුදුනට ළඟා වීමට නොහැකි නම් ආපසු හැරී එන ලෙස උපදෙස් ලැබුණත්, ඔවුන් එය නොතකා ගමන ඉදිරියටම ගොස් තිබීම නිසා රාත්‍රියේ අඳුරේ අතරමං වීමට ඔවුන්ට සිදු වුණා.
පසුව ඔවුන් පොලිසියට ඇමතුමක් ලබා දී උදව් ඉල්ලා සිටි අතර, රාත්‍රිය ගත කිරීමට සිදු වුණේ මඩ් ක්‍රීක් කැනියොන් ප්‍රදේශයේයි. පසුදින උදෑසන වනජීවී නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයින් එක්ව ඔවුන්ව බේරා ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බලධාරීන් පවසන්නේ, ජෙමිනායි මගින් ඔවුන්ට අවශ්‍ය ආහාර සහ ජලය ප්‍රමාණයට වඩා ඉතා අඩු ප්‍රමාණයක් රැගෙන යන ලෙස උපදෙස් දී තිබූ බවයි. මෙය ඔවුන්ගේ ගමන තවත් දුෂ්කර වීමට හේතු වුණා.
ඕනෑම කඳු නැගීමේ ගමනක් සැලසුම් කරන විට තාක්ෂණය මත පමණක්ම යැපෙන්නේ නැතිව, ප්‍රදේශයේ අදාළ බලධාරීන්ගෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීම අත්‍යවශ්‍ය බව බලධාරීන් අවධාරණය කරනවා. AI තාක්ෂණය කෙතරම් දියුණු වුවත්, මෙවැනි අවදානම් සහගත ගමන්වලදී එය පමණක් විශ්වාස කිරීම කොතරම් අනතුරුදායකද යන්න මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වෙනවා.

Discussion & Feedback