කැලිෆෝනියාවේ මවුන්ට් ශාස්තා කන්ද තරණය කිරීමට ගිය තරුණයින් තිදෙනෙකුට ගූගල් ජෙමිනායි (Gemini) කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ලබාදුන් වැරදි උපදෙස් නිසා විශාල කරදරයකට මුහුණ දීමට සිදුවුණා. මේ තරුණයින් තිදෙනා උදෑසන 3ට තම ගමන ආරම්භ කළත්, කන්දේ මුදුනට ළඟා වීමට රාත්‍රී 7 වනතුරුම කාලය ගතවී තිබෙනවා. සාමාන්‍යයෙන් දහවල් 12 වන විට කඳු මුදුනට ළඟා වීමට නොහැකි නම් ආපසු හැරී ඒම කඳු නගින්නන්ගේ ආරක්ෂාව සඳහා අනුගමනය කරන නීතියක් වුවත්, ඔවුන් එය නොසලකා ඉදිරියටම ගොස් තිබෙනවා.
අඳුරේ කන්දෙන් බැසීමට උත්සාහ කිරීමේදී මග වරදවා ගත් ඔවුන්, අවසානයේ පොලිසියට ඇමතුමක් ලබා දී උදව් ඉල්ලා තිබෙනවා. ඔවුන්ට මඩ් ක්‍රීක් කැනියන් ප්‍රදේශයේ රාත්‍රිය ගත කිරීමට සිදුවූ අතර, පසුදින උදෑසන වන සේවා නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයින් විසින් ඔවුන්ව බේරා ගනු ලැබුවා. ජෙමිනායි විසින් ඔවුන්ට අවශ්‍ය ආහාර සහ ජලය ප්‍රමාණයට වඩා ඉතා අඩු ප්‍රමාණයක් රැගෙන යන ලෙස උපදෙස් දී තිබීම ඔවුන්ගේ ගමන තවත් අසීරු කර තිබෙනවා.
මෙවැනි තාක්ෂණික මෙවලම් මත පමණක් විශ්වාසය තබා කඳු නැගීම ඉතාම අනතුරුදායක බව බලධාරීන් පෙන්වා දෙනවා. කඳු නැගීමට පෙර අදාළ ප්‍රදේශයේ වන සේවා කාර්යාලයෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත්, කෘත්‍රිම බුද්ධියෙන් ලැබෙන උපදෙස් පමණක්ම පදනම් කරගෙන මෙවැනි ගමන් සැලසුම් නොකරන ලෙසත් ඔවුන් ජනතාවට අවවාද කරනවා.

Discussion & Feedback