සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගිය වීඩියෝවක් හේතුවෙන් දඹුල්ල අධිවේගී මාර්ග කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ස්ථාන මාරුවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. රියදුරෙකුගෙන් අල්ලස් ලබාගන්නා බවට සැක කෙරෙන මෙම වීඩියෝව සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ අංශයේ අධ්යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සෙනෙවිරත්න මහතා පවසනවා. අදාළ නිලධාරියා වරදකරු වුවහොත් අල්ලස් පනත යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බවත්, පොලිස්පතිවරයාගේද විශේෂ අවධානය මේ කෙරෙහි යොමුව ඇති බවත් ඔහු සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ, රථවාහන පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදෙන විට සැඟවී සිටීම හෝ රියදුරන් වෙනත් ස්ථානයකට කැඳවාගෙන යාම නීති විරෝධී බවයි. පොලිස් නිලධාරීන් සැමවිටම මහජනයාට දර්ශනය වන පරිදි රාජකාරි කළ යුතු බවත්, වැරදි කරන සුළු පිරිසක් නිසා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම කීර්තිනාමය පළුදු වන බවත් ඔහු පෙන්වා දුන්නා. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා නිලධාරීන්ට දැනටමත් දිරි දීමනා ලබාදෙන බැවින් අල්ලස් ගැනීමට කිසිදු සාධාරණීකරණයක් නොමැති බවද ඔහු අවධාරණය කළා.
එමෙන්ම, රථවාහන දඩ මුදල් ගෙවීම සඳහා මේ වන විට ‘GovPay’ ඇප් එක හඳුන්වා දී ඇති බැවින් පොලිස් නිලධාරීන්ට මුදල් ලබාදීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, අල්ලස් දීම මෙන්ම ගැනීමද බරපතල වරදක් බවත් ජනතාවට සිහිපත් කර සිටිනවා. විමර්ශනවලින් අනාවරණය වන කරුණු මත අදාළ නිලධාරියාට එරෙහිව ඉදිරියේදී දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Discussion & Feedback