ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ වෛද්‍ය ක්ෂේත්රය වෙනුවෙන් ඉතා වැදගත් පියවරක් තබමින්, හේමාස් සර්ජිකල්ස් ඇන්ඩ් ඩයග්නොස්ටික්ස් ආයතනය සිංගප්පූරුවේ ක්රෙඩන්ස් ජෙනොමික්ස් සමඟ අත්වැල් බැඳගන්නවා. මේ හවුල්කාරිත්වය හරහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් ක්‍රියාත්මක වන අති නවීන ජානමය රෝග විනිශ්චය තාක්ෂණයන් මෙරට රෝහල් සහ රසායනාගාර වෙත හඳුන්වා දීමට නියමිතයි. සාම්ප්‍රදායික ක්‍රමවලින් හඳුනා ගැනීමට අපහසු සංකීර්ණ ආසාදන පවා ඉතා ඉක්මනින් සහ නිවැරදිව හඳුනා ගැනීමට මෙම නව තාක්ෂණය මගින් හැකියාව ලැබෙනවා.
මෙම පද්ධතිය මගින් බැක්ටීරියා, දිලීර සහ වෛරස් වර්ග දහස් ගණනක් ඉතා කෙටි කාලයකින් හඳුනා ගන්නා අතරම, ප්‍රතිජීවක ඖෂධවලට රෝග කාරක දක්වන ප්‍රතිරෝධය පවා කල්තියාම පුරෝකථනය කිරීමට හැකියාව තිබෙනවා. මේ හරහා වෛද්‍යවරුන්ට රෝගීන් සඳහා වඩාත් නිවැරදි සහ සාර්ථක ප්‍රතිකාර ක්‍රම ඉතා ඉක්මනින් තීරණය කරන්න පුළුවන්. දැනට පවතින ගෝලීය සෞඛ්‍ය අභියෝගයක් වන ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීමටත් මෙය ලොකු පිටුවහලක් වේවි.
අවශ්‍ය නියාමන අනුමැතියන් ලැබුණු පසු, හේමාස් ආයතනය හරහා මෙම සේවාවන් දිවයින පුරා වෛද්‍ය ආයතන වෙත ලබා දීමට කටයුතු කරනවා. රෝගීන්ගේ ජීවිතවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, ශ්‍රී ලංකාවේ වෛද්‍ය රෝග විනිශ්චය ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති බවයි දෙපාර්ශවයේම නියෝජිතයන් පවසන්නේ.

Discussion & Feedback