නේපාලයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයකදී නුවාකෝට් ප්රදේශයේ ත්රිභුවාන් ත්රිශූලි ද්විතීයික පාසලේ විදුහල්පති රාජේන්ද්ර දවාඩි මහතා සිදුකළ ක්ෂණික තීරණයක් නිසා සිසුන් 900කගේ ජීවිත ආශ්චර්යමත් ලෙස බේරී තිබෙනවා. ගංවතුර පැමිණීමට මිනිත්තු දහයකට පෙර ලැබුණු අනතුරු ඇඟවීම් කිහිපයක් සැලකිල්ලට ගත් විදුහල්පතිවරයා, කිසිදු පැකිලීමකින් තොරව වහාම පාසල ඉවත් කිරීමට පියවර ගත්තා. ඔහු සිසුන්ට සහ ගුරුවරුන්ට වහාම උස් බිම් වෙත යන ලෙස උපදෙස් දුන් අතර, පාසල් බස් රථවල සිටි සිසුන් ද ආපසු හරවා යැවීමට කටයුතු කළා. තත්පර කිහිපයක ප්රමාදයක් පවා සිදුවූයේ නම් විශාල විනාශයක් සිදුවිය හැකිව තිබූ බව ඔහු පවසනවා.
මෙම සිදුවීමෙන් පසුව පාසල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම මඩ සහ සුන්බුන්වලින් වැසී ගිය අතර, අවට ප්රදේශය ද ජලයෙන් යටවී ගියා. 16 හැවිරිදි යුනිෂා අමාත්යා නම් සිසුවිය පවසන පරිදි, ඔවුන්ට දිවි ගලවා ගැනීමට හැකිවූයේ තත්පර කිහිපයකින් පමණයි. බියකරු ගංවතුර දෙස බලා සිටියදී ඇය ඇතුළු මිතුරන් කඳුකර මාර්ග ඔස්සේ ආරක්ෂිත ස්ථාන කරා දිව ගොස් තිබෙනවා. දෙමාපියන් තම දරුවන් ගැන දැඩි බියකින් පසුවුවත්, විදුහල්පතිවරයාගේ කාලෝචිත තීරණය නිසා අද බොහෝ දරුවන්ට තම දෙමාපියන් හමුවීමට වාසනාව ලැබී තිබෙනවා. ස්වභාවික විපතකදී නිවැරදි තීරණයක් ගැනීම ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට හේතුවන බව මෙම සිදුවීමෙන් ලෝකයටම කියා දෙනවා.

Discussion & Feedback