හැරී පොටර් රසිකයන් බොහෝ දෙනෙක් බලා සිටි සුප්‍රසිද්ධ කතා මාලාවේ අලුත්ම ටෙලි කතා මාලාව 2026 වසරේ නත්තල් සමයේදී HBO ඔස්සේ විකාශය කිරීමට සියල්ල සූදානම් කරලා තියෙනවා. ජේ.කේ. රෝලිංගේ මුල් පොත් පෙළ ඇසුරින් නිර්මාණය වන මෙම කතා මාලාව, රසිකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙනු ඇති බවයි HBO ආයතනය පවසන්නේ. මෙහි ප්‍රධාන චරිත වන හැරී පොටර් ලෙස ඩොමිනික් මැක්ලොක්ලින්, රොන් වීස්ලි ලෙස ඇලස්ටෙයාර් ස්ටවුට් සහ හර්මයිනි ග්‍රේන්ජර් ලෙස අරාබෙල්ලා ස්ටැන්ටන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ජෝන් ලිතගෝ ඩම්බල්ඩෝර් ලෙසත්, නික් ෆ්රොස්ට් හැග්රිඩ් ලෙසත් අපට දැකගන්න පුළුවන්.
මෙම දැවැන්ත නිර්මාණය මෙහෙයවනු ලබන්නේ ‘සක්සෙෂන්’ කතා මාලාවේ සාර්ථකත්වයට දායක වූ ෆ්‍රැන්චෙස්කා ගාඩිනර් විසින්. කතා මාලාව දැනටමත් දෙවන වාරයක් සඳහා අලුත් කර ඇති අතර, මුල් පොත් හතේ අන්තර්ගතය ඉතාම විශ්වාසවන්තව සහ විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. මුලින් එක් පොතකට එක් වාරයක් ලෙස සැලසුම් කළත්, දැන් මෙය වසර දහයක් පුරා විකාශය වන දීර්ඝ කතා මාලාවක් ලෙස නිර්මාණය කිරීමටයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. දැනටමත් නිකුත් කර ඇති ට්‍රේලර් දර්ශනවලින් හොග්වාර්ට්ස් මායා ලෝකයේ අපූරු දර්ශන රැසක් දැකගන්න ලැබෙන නිසා, ලොව පුරා ඉන්න හැරී පොටර් රසිකයන් මේ වෙනුවෙන් ලොකු උනන්දුවකින් බලා ඉන්නවා.

Discussion & Feedback